13. 9.
ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් උතුමැයි කියත් නම්, යලි අන්‍යයෝ එ මැ දහම හීන යයි කියති. මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ ද? මොහු සියල්ලෝ මැ කුශලවාද ඇත්තාහු මැ වෙත් ද?
යමාහු ධම්මං පරමත්ති එකෙ - ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ‘මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ‍්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘යමාහු ධම්මං පරමත්ති එකෙ’ යනු වේ.
තමෙව හීනත්ති පනාහු අඤ්ඤෙ - ඇතැම් මහණබමුණෝ එ මැ දහම දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘තෙල හීන යැ තෙල නිහීන යැ තෙල අවමත යැ තෙල ලාමක යැ තෙල ඡත්තක යැ තෙල අල්ප ය’ යි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තමෙව හීනත්ති පනාහු අඤ්ඤෙ’ යනු වේ.
සච්චො නු වාදො කතමෝ ඉමෙයං - මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ නො සිස් වූයේ නො වෙනස් වූයේ විද්‍යමාන වූයේ යථාස්වභාව වූයේ අවිපරීත වූයේ දැයි ‘සච්චො නු වාදො කතමෝ ඉමෙයං’ යනු වේ.
සබ්බේව හි’මෙ කුසලාවදානා - මේ සියලු මැ මහණබමුණෝ ස්වකීය ලබ්ධියෙහි කුශලවාද ඇත්තාහු පණ්ඩිතවාද ඇත්තාහු සථිරවාද ඇත්තාහු න්‍යායවාද ඇත්තාහු හේතුවාද ඇත්තාහු ලක්ෂණවාද ඇත්තාහු කාරණවාද ඇත්තාහු ස්ථානවාද ඇත්තාහු යි ‘සබ්බේව හි’මෙ කුසලාවදානා’ යනු වේ.
එයින් කීහ ඒ මැවුණු බුදුහු:
“යමාහු ධම්මං -පෙ- සබ්බේව හි’මෙ කුසලාවදානා” යී.
13. 10.
(ඇතැම් මහණබමුණෝ) තමන් තමන්ගේ මැ ධර්‍මය පරිපූර්‍ණ යැ යි කියති, යලි අන්‍යයාගේ ධර්‍මය හීන යැයි කියත්. මෙසේ ත් දැඩි වැ ගෙන විවාද කෙරෙති, තමන් තමන්ගේ මැ දෘෂ්ටිසම්මතිය සැබවැයි කියත්.
සකං හි ධම්මං පරිපුණ්ණමාහු - ඇතැම් මහණබමුණු කෙනෙක් තමන් තමන්ගේ මැ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘මෙය සමස්තයැ පරිපූර්‍ණ යැ අලාමක යැ’ යි මෙසේ පවසති … මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘සකං හි ධම්මං පරිපුණ්ණමාහු’ යනු වේ.
අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු - ඇතැම් මහණබමුණෝ අන්‍යයාගේ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘තෙල හීන යැ තෙල නිහීන යැ තෙල අවමත යැ තෙල ලාමක යැ තෙල ඡත්තක යැ තෙල අල්ප යැ’ යි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘අඤ්ඤස්ස ධම්මං පන හීනමාහු ’ යනු වේ.
එවම්පි විග්ගය්හ විවාදයන්ති - මෙසේ ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිවිසගෙන විවාද කෙරෙති, කලහ කෙරෙති, ඩබර කෙරෙති, විග්‍රහ කෙරෙති, විරුද්ධවාද කෙරෙති, අරගල කෙරෙත්: ‘තෙපි මේ ධර්‍මවිනය නො දන්නවු යැ … ඉදින් පොහොනවු නම් මුදා ගනුව ය’ යි ‘එවම්පි විග්ගය්හ විවාදයන්ති’ යනු වේ.
සකං සකං සම්මුතිමාහු සච්චං - ‘ශාශ්වත යැ ලෝකය, මේ මැ සැබව අන්‍යය සිස් යැ’ යි ‘සකං සකං සම්මුතිමාහු සච්චං’ අශාශ්වත යැ ලෝකය … සත්ත්‍ව තෙමේ මරණින් මත්තෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබවැ අන්‍යය තුච්ඡ යැ’ යි ‘සකං සකං සම්මුතිමාහු සච්චං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සකං හි ධම්මං -පෙ- කං සකං සම්මුතිමාහු සච්චං” යී.