13.
මහාවියූහසූත්‍රනිර්දේශය
ඉක්බිති ‘මහාවියුහ’ සූත්‍රනිර්දේශය කියනු ලැබේ:
13. 1.
ස්වකීය දෘෂ්ටිය දැඩි වැ ගෙන වසන්නාවූ යම් කිසි මහණබමුණු කෙනෙක් ‘මේ (අපගේ ලබ්ධිය) මැ සැබව, අන්‍යය තුච්ඡ යැ’ යි ද කියත් නම්, ඔහු සියල්ලෝ මැ (තමන් වෙන) නින්‍දාව පුනපුනා එළවත් ද? නොහොත් ඒ දෘෂ්ටි නිමිති කොට ගෙන ප්‍රශංසාත් ලබත් ද?
යෙ කෙචි මෙ දිට්ඨිපරිබ්බසානා - ‘යෙ කෙචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි, තෙල වචනයෙකි, තෙල ‘යෙ කෙචි’ යනු; දිට්ඨිපරිබ්බසානා - දෘෂ්ටිගතික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔවුහු දෙසැට දිටු අතුරෙන් එක්තරා දෘෂ්ටිගතයක් ගෙන දැඩිව ගෙන ග්‍රහණය කොට දැහැගෙන පිවිසගෙන තමතමාගේ දෘෂ්ටියෙහි වෙසෙති මොනොවට වෙසෙති වෙසෙසින් වෙසෙති හාත්පසින් වෙසෙත්. යම්සේ ගෙහිමියෝ හෝ ගෙවල වෙසෙත් ද, ඇවැත් බහුලයෝ හෝ ඇවැත්හි වෙසෙත් ද, කෙලෙස් බහුලයෝ හෝ කෙලෙස්හි වෙසෙත් ද, එපරිද්දෙන් ඇතැම් මහණබමුණු කෙනෙක් … හාත්පසින් වෙසෙත් නුයි ‘යෙ කෙචි මෙ දිට්ඨිපරිබ්බසානා’ යනු වේ.
ඉදමෙව සච්චනති ච වාදයන්ති - ‘ශාශ්වත යැ ලෝකය, මෙය මැ සැබැව අන්‍යය මෝඝ යැ’ යි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත්. ‘අශාශ්වත යැ ලෝකය … සත්ත්‍වයා මරණින් මත්තෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි. මෙය මැ සැබැව අන්‍යය මෝඝ යැ’ යි පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘ඉදමෙව සච්චනති ච වාදයන්ති’ යනු වේ.
සබ්බේව තෙ නින්දමන්වානයන්ති - ඒ සියලු මැ මහණබමුණෝ නින්‍දාවට ම පැමිණෙති, ගර්‍හාවට ම, පැමිණෙති අකිර්‍තතියට ම පැමිණෙති, සියල්ලෝ නිගා කරන ලද්දාහු ම වෙති, ගරහන ලද්දාහු ම වෙති, අවමන් කරන ලද්දාහු ම වෙත් නුයි ‘සබ්බේව තෙ නින්දමන්වානයන්ති’ යනු වේ.
අථො පසංසමපි ලභන්ති තත්‍ථ - එහි ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය කැමැත්තෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි ප්‍රශංසාව ස්තුතිය කීර්තිය ගුණ වැඩීම ලබති පිළිලබති පැමිණෙති විඳිත් නුයි ‘අථො පසංසම්පි ලභන්ති තත්‍ථ’ යනු වේ.
එයින් කීහ ඒ මැවුණු බුදුහු:
“යෙ කෙචි මෙ -පෙ- අථො පසංසමපි ලභන්ති තත්‍ථ” යී.
13. 2.
තෙල ප්‍රශංසා සඞ්ඛ්‍යාත වාදඵලය අල්ප මැ ය. (රාගාදීන්ගේ) සන්හිඳීම පිණිස සමර්‍ත්‍ථ නො වේ. විවාදයාගේ (ජය - පරාජයාදි) ඵල දෙකක් කියමි. (විවාදයාගේ) තෙල ආදීනවය ද දැක, අවිවාදභූමි සඞ්ඛ්‍යාත නිවන ක්‍ෂේම යයි දක්මින් විවාද නො කරන්නේ යි.
අප්පඤහි එතං න අලං සමාය - ‘අප්පඤහි එතං’ යනු: තෙල අල්ප යැ, තෙල පහත් යැ, තෙල මඳ යැ, තෙල පවිටු යැ, තෙල අහේතුක යැ, තෙල පරිත්ත නුයි ‘අප්පඤහි එතං’ යනු වේ. න අලං සමාය - රාගයාගේ ශමනයට ද්වේෂයාගේ ශමනයට මෝහයාගේ ශමනයට ක්‍රෝධ - උපනාහ මක්ඛ පලාස - ඊර්‍ෂ්‍යා - මාත්සර්‍ය්‍ය - මායා - සාඨෙය්‍ය - ස්තම්භ - සංරම්භ - මාන - අතිමාන - මද - ප්‍රමාදයාගේ සියලු කෙලෙසුන්ගේ සියලු දුශ්චරිතයන්ගේ සියලු දරථයන්ගේ සියලු පරිදාහයන්ගේ සියලු සන්තාපයන්ගේ සියලු අකුශලාභිසංස්කාරයන්ගේ ශමනයට උපශමනයට සන්හිඳුවීමට අමාමහනිවනට (මාර්‍ගයෙන්) කෙලෙසුන් දුරලීමට (ඵලයෙන්) අනුත්පාදනිරොධයට සමර්‍ත්‍ථ නො වේ නුයි ‘අප්පඤහි එතං න අලං සමාය’ යනු වේ.