13. 8.
(මෙසේ) පතනුවනහුට වැලිත් තෘෂ්ණාජල්පිතයෝ වෙති. තවද තෘෂ්ණා දෘෂ්ටින් ප්‍රකල්පිත වූ වස්තූන් නිමිති කොට අතිශයින් සැලීම ද වෙයි. මෙලොව යම් ක්ෂීණාස්‍රවයක් හට ච්‍යුති - උත්පත්ති නැත් ද, හෙතෙම කිනම් රාගාදියකින් සැලෙන්නේ ද, කොහි ජල්පනය කරන්නේ ද.
පත්ථයමානස්ස හි ජප්පිතානි - ‘පත්‍ථනා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එයයි. පත්ථයමානස්ස - පතනුවහුට කැමැති වන්නහුට ඉවසනුවහුට රිසිවන්නහුට අභිජල්පනය කරන්නහුට නුයි ‘පත්ථයමානස්ස හි’ යනු වේ. ජප්පිතානි - ‘ජප්පනා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් නුයි ‘පත්ථයමානස්ස හි ජප්පිතානි’ යනු වේ.
පවෙධිතං වාපි පකප්පිතෙසු - ‘පකප්පනා’ යනු: තෘෂ්ණාප්‍රකල්පනය ද දෘෂ්ටිප්‍රකල්පනය දැයි ප්‍රකල්පනා දෙකෙකි … මෝ දෘෂ්ටිප්‍රකල්පනා යි. පවෙධිතං වාපි පකප්පිතෙසු - ප්‍රකල්පිත වූ වස්තුව ‘අසිඳගනිති’ සැක ඇත්තාහු ද සැලෙති, අසිඳුනා කල්හි දු සැලෙති, අසිඳගත් කල්හි දු සැලෙත්, ප්‍රකල්පිත වූ වස්තුව ‘පරිවර්‍තන වෙතී’ සැක ඇත්තාහු ද සැලෙති, පෙරළෙන කල්හි දු සැලෙති, පෙරළුණු කල්හි දු සැලෙති, වෙවුලති, අතිශයින් වෙවුලත් නුයි ‘පවෙධිතං වාපි පකප්පිතෙසු’ යනු වේ.
චුතූපපාතො ඉධ යස්ස නත්‍ථි - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට යමක් හට (මෙලොවින්) යෑම පෙරළා ඊම ගමනාගමනය මරණය ගතිය පුනපුනා භවය ච්‍යුතිය උත්පත්තිය නිපැත්ම බිඳීම ජාතිය හා ජරාමරණයත් නැත් ද නො වෙත් ද විද්‍යමාන නො වෙත් ද නො ලැබෙත් ද, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘චුතූපපාතො ඉධ යස්ස නත්‍ථි’ යනු වේ.
ස කෙන වෙධෙය්‍ය කුහිං ච ජප්පෙ - හෙතෙම කවර රාගයෙකින් සැලෙන්නේ ද, කවර ද්වෙෂයෙකින් - කවර මොහයෙකින් - කවර මානයෙකින් කවර දෘෂ්ටියෙකින් - කවර ඖද්ධත්‍යයෙකින් - කවර විචිකිත්සායෙකින් - කවර අනුශයධර්‍මයෙකින් සැලෙන්නේ ද, (රාගයෙන්) රක්ත යැ හෝ දුෂ්ට යැ හෝ මූඪ යැ හෝ (මානයෙන්) විනිබද්ධ යැ හෝ (දෘෂ්ටියෙන්) පරාමෘෂ්ට යැ හෝ වික්ෂෙපයට පැමිණියේ යැ හෝ නිෂ්ඨාවට නො ගියේ යැ හෝ තදබවට ගියේ යැ හෝ (යන) ඒ කර්‍මාභිසංස්කාරයෝ ප්‍රහීණයෝ යැ, අභිසංස්කාරයන් ප්‍රහීණ වූ බැවින් ගතිය හේතු කොට ගෙන කුමකින් සැලෙන්නේ ද, නිරයෙහි උපදනා සත්ත්වයෙකැ හෝ තිරිසන්යොන්හි උපදෙනකැ හෝ ප්‍රේතවිෂයෙහි උපදනෙකැ හෝ මිනිස් වන්නෙකැ හෝ දෙවි වන්නෙකැ හෝ රූපී යැ හෝ අරූපී යැ හෝ සංඥී යැ හෝ අසංඥී යැ හෝ නෛවසංඥීනාසංඥී යැ හෝ යම් හෙයකින් කම්පා වන්නේ නම් සැලෙන්නේ නම් වෙසෙසින් සැලෙන්නේ නම් ඒ හේතුව නැත, ප්‍රත්‍යය නැති, කාරණය නැත් නුයි ‘ස කෙන වෙධෙය්‍ය’ යනු වේ. කුහිං ච ජප්පෙ - කොහි හෝ (තෘෂ්ණාවශයෙන්) ජල්පනය කරන්නේ ද, කවර කරුණෙක ජල්පනය කරන්නේ ද, කො තැන්හි ජල්පනය ප්‍රජල්පනය අභිජල්පනය කරන්නේ දැ යි ‘ස කෙන වෙධෙය්‍ය කුහිං ච ජප්පෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පත්ථයමානස්ස -පෙ- ස කෙන වෙධෙය්‍ය කුහිං ච ජජප්පෙ” යී.
13. 9.
ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් උතුමැයි කියත් නම්, යලි අන්‍යයෝ එ මැ දහම හීන යයි කියති. මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ ද? මොහු සියල්ලෝ මැ කුශලවාද ඇත්තාහු මැ වෙත් ද?
යමාහු ධම්මං පරමත්ති එකෙ - ඇතැම් මහණබමුණු කෙනෙක් යම් දහමක් දෘෂ්ටියක් ප්‍රතිපදාවක් මාර්‍ගයක් ‘මේ පරම යැ අග්‍ර යැ ශ්‍රේෂ්ඨ යැ විශිෂ‍්ට යැ පාමොක් යැ උතුම් යැ ප්‍රවර යැයි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘යමාහු ධම්මං පරමත්ති එකෙ’ යනු වේ.
තමෙව හීනත්ති පනාහු අඤ්ඤෙ - ඇතැම් මහණබමුණෝ එ මැ දහම දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය ‘තෙල හීන යැ තෙල නිහීන යැ තෙල අවමත යැ තෙල ලාමක යැ තෙල ඡත්තක යැ තෙල අල්ප ය’ යි මෙසේ පවසති, මෙසේ කියති, මෙසේ බෙණෙති, මෙසේ දක්වති, මෙසේ ව්‍යවහාර කෙරෙත් නුයි ‘තමෙව හීනත්ති පනාහු අඤ්ඤෙ’ යනු වේ.
සච්චො නු වාදො කතමෝ ඉමෙයං - මේ මහණබමුණන්ගේ කවර වාදයෙක් සත්‍ය වූයේ නො සිස් වූයේ නො වෙනස් වූයේ විද්‍යමාන වූයේ යථාස්වභාව වූයේ අවිපරීත වූයේ දැයි ‘සච්චො නු වාදො කතමෝ ඉමෙයං’ යනු වේ.