13. 6.
(ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ) සියලු ශීලව්‍රතය ද, යලි සාවද්‍යානවද්‍ය (-සියලු අකුශල හා ලෞකික කුශල) කර්‍මය ද හැරපියා තෙල (පඤචකාමගුණාදි භේද වූ) ශුද්ධිය ද, (අකුශලාදි භේද වූ) අශුද්ධිය ද මෙසේ නො පතනුයේ දෘෂ්ටිශාන්තිය දැඩිව නො ගෙන (ශුද්ධි අශුද්ධි දෙකින්) වෙන් වූයේ හැසිරෙන්නේ යි.
සීලබ්බතං වාපි පහාය සබ්බං - සියලු ශීලශුද්ධීන් හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා, සියලු ව්‍රතශුද්ධීන් හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා සියලු ශීලව්‍රතශුද්ධින් හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘සීලබ්බතං වාපි පහාය සබ්බං’ යනු වේ.
කම්මඤ්ච සාවජ්ජ’නවජ්ජමෙතං - කෘෂ්ණ වූයේ කෘෂ්‍ණවිපාක ඇතියේ සාවද්‍යකර්‍ම යයි කියනු ලැබෙයි. ශුක්ල වූයේ ශුක්ලවිපාක ඇතියේ අනවද්‍යකර්‍ම යයි කියනු ලැබෙයි. සාවද්‍ය (-අකුශල) කර්‍මය ද, අනවද්‍ය ( - ලෞකික කුශල) කර්‍මය ද, හැර බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ’ කම්මඤ්ච සාවජ්ජ’නවජ්ජමෙතං’ යනු වේ.
සුද්ධිං අසුද්ධිංන්ති අපත්ථයානො - ‘අසුද්ධිං’ යනු: අශුද්ධිය පතති, අකුශලධර්‍මයන් පතති; ‘සුද්ධිං’ යනු: ශුද්ධිය පතති, පඤ්චකාමගුණයන් පතති; ‘අසුද්ධිං පත්ථෙන්ති’ - අකුශලධර්‍මයන් පතති, පඤ්චකාමගුණයන් පතති; ‘සුද්ධිං පත්ථෙන්ති’ - දෙසැටදිටුගතයන් පතති, ‘අසුද්ධිං පත්ථෙන්ති’ - අකුශලධර්‍මයන් පතති, පඤ්චකාමගුණයන් පතති, දෙසැටදිටුගතයන් පතති, ‘සුද්ධිං පත්ථෙන්ති’ - ත්‍රෛධාතුක කුශල ධර්‍මයන් පතති; ‘අසුද්ධිං පත්ථෙන්ති’ - අකුසල් දහම් පතති, පස්කම්ගුණ පතති, දෙසැටදිටුගතයන් පතති, තුන්බිමට අයත් කුසල්දහම් පතත්; ‘සුද්ධිං පත්ථෙන්ති’ - කල්‍යාණ - පෘථග්ජනයෝ මාර්‍ගවිදර්‍ශනාවට බැසගැනීම පතති, ශෛක්‍ෂයෝ අග්‍රධර්‍ම වූ අර්‍හත්ත්‍වය පතති, රහත්බව පැමිණි කල්හි රහත් තෙම අකුසල්දහම් නො මැ පතයි, නො ද පස්කම්ගුණ පතයි, නො ද දෙසැටදිටුගතයන් පතයි ත්‍රෛධාතුක කුශලධර්‍මයන් නො ද පතයි, නියාමාවක්‍රාන්තිය නො ද පතයි අග්‍රධර්‍ම වූ අර්‍හත්ත්‍වය නො ද පතයි; ප්‍රාර්‍ත්‍ථනා ඉක්මවා සිටි රහත් තෙම වෘද්ධිය හා පරිහාණිය ඉක්මවූයේ යැ, හෙතෙම වැස නිමවූ දශ ආර්‍ය්‍යවාස ඇත්තේ ය, සිල් හා අටසමවත්හි චීර්‍ණවශී යැ; තරණය කළ ජාතිජරාමරණසංසාරය ඇත්තේ යැ, ඔහුට පුනර්‍භවය නැත් නුයි ‘සුද්ධිං අසුද්ධිංන්ති අපත්ථයානො’ යනු වේ.
විරතො චරෙ සන්තිමනුග්ගහාය - ‘විරතො’ යනු ශුද්ධි අශුද්ධි දෙකින් දුරු වූයේ වෙන්වූයේ වෙසෙසින් වෙන්වූයේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසේ නුයි ‘විරතො’ යනු වේ. චරෙ - හැසිරෙන්නේය වෙසෙන්නේය ඉරියවු පවත්වන්නේ ය වැටෙන්නේය රැකෙන්නේය යැපෙන්නේය යපනය වන්නේ නුයි ‘විරතො චරෙ’යනු වේ. සන්තිමනුග්ගහාය - සන්ති’ යී දෙසැට දිටුගතයෝ කියනු ලැබෙති. දෘෂ්ටිශාන්ති නො ගන්නේ පරාමර්‍ශනය නො කරනුයේ අභිනිවේශය නො කරනුයේ නුයි ‘විරතො චරෙ සන්තිමනුග්ගහාය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සීලබ්බතං වාපි -පෙ- විරතො චරෙ සන්තිමනුග්ගහාය” යී.
13. 7.
තවද (ඇතැම් මහණබමුණු කෙනෙක් බුද්ධාදීන් විසින්) ජුගුප්සිත වූ ඒ අමරතපස් හෝ දෘෂ්ටශුද්ධිය හෝ ශ්‍රැතශුද්ධිය හෝ මුතශුද්ධිය හෝ ඇසුරු කොට (අක්‍රියදෘෂ්ටියෙන් හෝ) උද්ධංසරවාද ඇති වැ පුනපුනා භවයෙහි නො හළ තෘෂ්ණා ඇත්තාහු ශුද්ධිය කියත්.
තමුපනිස්සාය ජිගුච්ඡිතං වා - කායපීඩනාදි තපසින් පාපජුගුප්සාව පවසන්නාවූ තපෝජුගුප්සාව සාර කොට ඇති තපෝජුගුප්සාව ඇසුරු කළ හාත්පසින් ඇසුරු කළ (එහි) ඇලුණු බැසගත් පිවිසියා වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත් නුයි ‘තමුපනිස්සාය ජිගුච්ඡිතං වා’ යනු වේ.
අථවාපි දිට්ඨං ව සුතං මුතං වා - දෘෂ්ට (- රූපායතන) ය හෝ දෘෂ්ටශුද්ධිය හෝ ශ්‍රැතය හෝ ශ්‍රැතශුද්ධිය හෝ මුතය හෝ මුතශුද්ධිය හෝ නිසා ඇසුරු කොට ගෙන දැහැගෙන පිවිස ගෙන නුයි ‘අථවාපි දිට්ඨං ව සුතං මුතං වා’ යනු වේ.
උද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති - උද්ධංසරවාද ඇති ( - සංසාරයෙන් ශුද්ධිය පවසන) ඇතැම් මහණ බමුණු කෙනෙක් වෙති, සංසාරයෙන් ශුද්ධිය පවසන ඒ මහණ බමුණෝ කවරහු ද යත්? අත්‍යන්තශුද්ධිය පවසන සංසාරශුද්ධිය පවසන අක්‍රියදෘෂ්ටි ඇති ශාශ්වතදෘෂ්ටි ඇති ඒ මේ මහණබමුණෝ උද්ධංසරවාද ඇත්තාහු වෙත්. ඔවුහු සංසාරයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පසසති පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘උද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති’ යනු වේ.
අවිතතණ්හා සෙ භවාභවෙසු - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි.