13. 3.
පුහුදුනුවන් කෙරෙන් පහළ වූ යම් කිසි දෘෂ්ටි කෙනෙක් වෙත් ද, විද්වද් තෙමේ තෙල සියලු මැ දෘෂ්ටීන්ට නො පැමිණෙයි. (තෘෂ්ණා දෘෂ්ටි) උපය රහිත වූ හෙතෙම දෘෂ්ට - ශ්රැත - මුතශුද්ධියෙහි රුචි නො කරනුයේ රූපාදි උපයකට කිම පැමිණෙන්නේ ද.
යා කාචි මා සම්මුතියො පුථුජ්ජා - ‘යා කාචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්වාථයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි: තෙල ‘යා කාචි’ යනු: සම්මුතියො - ‘සම්මුති’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙති, ඒ දෘෂ්ටිසම්මුතීහු; පුථුජ්ජා - පුහුදුනුවන් විසින් උපදවන ලද සම්මුතීහු නුයි ‘පුථුජ්ජා’ නම් වෙති; බොහෝ නානා ජනයන් විසින් උපදවන ලද සම්මුතීහු නුයි හෝ ‘පුථුජ්ජා’ නම් වෙත් නුයි.’ යා කාචිමා සම්මුතියො පුථුජ්ජා’ යනු වේ.
සබ්බාව එතා න උපේති විද්වා - විද්වද් තෙමේ විද්යාවට පැමිණියේ නුවණැතියේ විමංසනප්රඥා ඇතියේ තීරණප්රඥා ඇතියේ තෙල සියලු මැ දෘෂ්ටිසම්මුතීන්ට නො එයි, නො පැමිණෙයි, උපගමනය නො කෙරෙයි, නො ගනී, නො දැනගනී, නො පිවිසගනී නුයි ‘සබ්බාව එතා න උපේති විද්වා’ යනු වේ.
අනුපයො සො උපයං කිමෙය්ය - ‘උපය’ නම්: තෘෂ්ණා උපය ද දෘෂ්ටි උපය දැයි උපයයෝ දෙදෙනෙකි. … මේ දෘෂ්ටිඋපය නමි. ඔහු විසින් තෘෂ්ණා උපය ප්රහීණ යැ, දෘෂ්ටිඋපය දුරලන ලද්දේය. තෘෂ්ණාඋපය ප්රහීණ වන බැවින් දෘෂ්ටිඋපය දුරලූ බැවින් උපය රහිත වූ පුද්ගල තෙම කිම රූපය ‘මාගේ ආත්මය’ යි පැමිණෙන්නේ ද එළැඹෙන්නේ ද ග්රහණය කරන්නේ ද පරාමර්ශනය කරන්නේ ද අභිනිවේශය කරන්නේ ද, කිම වේදනාව - සංඥාව - සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්රතිසන්ධිය - භවය - සංසාරය - කිම වෘත්තයට පැමිණෙන්නේ ද, එළඹෙන්නේ ද, ග්රහණය කරන්නේ ද, පරාමර්ෂණය කරන්නේ ද, අභිනිවේශය කරන්නේ දැ’ යි ‘අනුපයො සො උපයං කිමෙය්ය’ යනු වේ.
දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො - රූපායතන සඞ්ඛ්යාත දෘෂ්ටියෙහි හෝ දෘෂ්ටිශුද්ධියෙහි හෝ ශබ්දායතන සඞ්ඛ්යාත ශ්රැතයෙහි හෝ ශ්රැතශුද්ධියෙහි හෝ ගන්ධරසස්ප්රෂ්ටව්යායතන සඞ්ඛ්යාත මුතයෙහි හෝ මුතශුද්ධියෙහි හෝ රුචිය නො කරනුයේ ඡන්දය නො කරනුයේ ප්රේමය නො කරනුයේ රාගය නො කරනුයේ නූපදවනුයේ වෙසෙසින් නූපදවනුයේ නො නිපදවනුයේ නො පහළ කරනුයේ නුයි ‘දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යා කාචි -පෙ- දිට්ඨෙ සුතෙ ඛන්තිමකුබ්බමානො” යී.
13. 4.
ශීලය මැ උතුමැයි හඟනාවූ ඇතැම් මහණබමුණු කෙනෙක් සංයම මාත්රයෙන් ශුද්ධිය කියති. (හස්තිව්රතාද) ව්රතය සමාදන්ව එළැඹසිටියාහු ‘මේ දෘෂ්ටියෙහි මැ හික්මෙනුවම්හ. එකල්හි මේ සත්ත්වයාගේ ශුද්ධිය වේ’ යයි භවයට පැමිණියාහු මැ කියති. (එහෙත් ඔහු) කුශලවාද ඇත්තාහු වෙත්.
සිලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං - ශීලය මැ උතුමැයි සිතන්නාවූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔවුහු ශීලමාත්රයෙන් සංයමමාත්රයෙන් සංවරමාත්රයෙන් අව්යතික්රමමාත්රයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්යවහාර කෙරෙත්. ශ්රමණමණ්ඩිකාපුත්ර තෙම මෙසේ කියයි: “ගෘහපතිය යම් කරුණු සතරෙකින් සමන්විත වූ පුද්ගලයා පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තම වූ අර්හත්ත්වයට පැමිණි අයොධ්ය වූ (- වාදයෙන් නො පැරැදවිය හැකි) ශ්රමණයා යැ” යි දක්වමි. කවර සතරෙකිනැ යත්: