13. 2.
තෙල ප්රශංසා සඞ්ඛ්යාත වාදඵලය අල්ප මැ ය. (රාගාදීන්ගේ) සන්හිඳීම පිණිස සමර්ත්ථ නො වේ. විවාදයාගේ (ජය - පරාජයාදි) ඵල දෙකක් කියමි. (විවාදයාගේ) තෙල ආදීනවය ද දැක, අවිවාදභූමි සඞ්ඛ්යාත නිවන ක්ෂේම යයි දක්මින් විවාද නො කරන්නේ යි.
අප්පඤහි එතං න අලං සමාය - ‘අප්පඤහි එතං’ යනු: තෙල අල්ප යැ, තෙල පහත් යැ, තෙල මඳ යැ, තෙල පවිටු යැ, තෙල අහේතුක යැ, තෙල පරිත්ත නුයි ‘අප්පඤහි එතං’ යනු වේ. න අලං සමාය - රාගයාගේ ශමනයට ද්වේෂයාගේ ශමනයට මෝහයාගේ ශමනයට ක්රෝධ - උපනාහ මක්ඛ පලාස - ඊර්ෂ්යා - මාත්සර්ය්ය - මායා - සාඨෙය්ය - ස්තම්භ - සංරම්භ - මාන - අතිමාන - මද - ප්රමාදයාගේ සියලු කෙලෙසුන්ගේ සියලු දුශ්චරිතයන්ගේ සියලු දරථයන්ගේ සියලු පරිදාහයන්ගේ සියලු සන්තාපයන්ගේ සියලු අකුශලාභිසංස්කාරයන්ගේ ශමනයට උපශමනයට සන්හිඳුවීමට අමාමහනිවනට (මාර්ගයෙන්) කෙලෙසුන් දුරලීමට (ඵලයෙන්) අනුත්පාදනිරොධයට සමර්ත්ථ නො වේ නුයි ‘අප්පඤහි එතං න අලං සමාය’ යනු වේ.
දුවෙ විවාදස්ස ඵලානි බ්රෑමි - දෘෂ්ටිකලහයාගේ දෘෂ්ටිභණ්ඩනයාගේ දෘෂ්ටිවිග්රහයාගේ දෘෂ්ටිවිවාදයාගේ දෘෂ්ටිමෙධගයාගේ ඵල දෙකෙක් වෙති; ජය - පරාජය වෙයි, ලාභ - අලාභවෙයි, යශස් - අයශස් වෙයි, නින්දා - ප්රශංසා වෙයි, සුව - දුක් වෙයි, සොම්නස් - දොම්නස් වෙයි, ඉටු - අනිටු වෙයි, අනුනය - ප්රතිඝ වෙයි, අනුග්රහ - නිග්රහ වෙයි, ස්නෙහ - කෝප වේ; නොහොත් ඒ කර්මය නිරයෙහි ඉපදීම පිණිස පවත්නේය, තිරිසන්යොන්හි ඉපදීම පිණිස පවත්නේය, ප්රේතවිෂයෙහි ඉපදීම පිණිස පවත්නේ යැ’ යි කියමි පවසමි පනවමි පිහිටුවමි, විවරණ කෙරෙමි, විභාග කෙරෙමි, ප්රකට කෙරෙමි, ප්රකාශ කෙරෙමි නුයි ‘දුවෙ විවාදස්ස ඵලානි බ්රෑමි’ යනු වේ.
එතම්පි දිස්වා න විවාදයෙථ - ‘එතම්පි දිස්වා’ යනු : තෙල ආදීනවය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට ද දෘෂ්ටිකලහයන්හි දෘෂ්ටිභණ්ඩනයන්හි දෘෂ්ටිවිග්රහයන්හි දෘෂ්ටිවිවාදයන්හි දෘෂ්ටිමෙධගයන්හි නුයි ‘එතම්පි දිස්වා’ යනු වේ. න විවාදයෙථ - කලහ නො කරන්නේය, ඩබර නොකරන්නේය විග්රහ නො කරන්නේය, විවාද නො කරන්නේය, මෙධග නො කරන්නේය, කලහ භණ්ඩන විග්රහ විවාද මෙධග හරනේය, දුරුකරන්නේය විගතාන්ත කරන්නේය, අනභාවයට පමුණුවන්නේය, කලහයෙන් භණ්ඩන - විග්රහ - විවාද - මෙධගයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන්වූයේ නික්මැගියේ බැහැරි වූයේ වෙසෙසින් මිදුණේ නො යෙදුණේ වන්නේය, විගතමර්ය්යා කළ සිතින් යුක්ත ව වාසය කරන්නේ නුයි ‘එතම්පි දිස්වා න විවාදයෙථ’ යනු වේ.
ඛෙමාභිපස්සං අවිවාදභූමිං - ‘අවිවාදභූමි’ යී අමාමහනිවන කියනු ලැබෙයි: යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරලීමෙක් තෘෂණාක්ෂයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්වාණයෙක් වේ ද එය යි, තෙල අවිවාද භූමිය ක්ෂේම හෙයින් ත්රාණ හෙයින් ලෙන හෙයින් සරණ හෙයින් අභය හෙයින් අච්යුත හෙයින් අමෘත හෙයින් නිර්වාණ හෙයින් බලනුයේ දක්නේ අවලොකනය කරනුයේ සිතනුයේ විමසනුයේ නුයි ‘ඛෙමාභිපස්සං අවිවාදභූමිං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අප්පඤහි එතං -පෙ- ඛෙමාභිපස්සං අවිවාදභූමිං” යී.
13. 3.
පුහුදුනුවන් කෙරෙන් පහළ වූ යම් කිසි දෘෂ්ටි කෙනෙක් වෙත් ද, විද්වද් තෙමේ තෙල සියලු මැ දෘෂ්ටීන්ට නො පැමිණෙයි. (තෘෂ්ණා දෘෂ්ටි) උපය රහිත වූ හෙතෙම දෘෂ්ට - ශ්රැත - මුතශුද්ධියෙහි රුචි නො කරනුයේ රූපාදි උපයකට කිම පැමිණෙන්නේ ද.
යා කාචි මා සම්මුතියො පුථුජ්ජා - ‘යා කාචි’ යනු: සියල්ලෙන් සියල්ල සර්වාථයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි: තෙල ‘යා කාචි’ යනු: සම්මුතියො - ‘සම්මුති’ යී ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ කියනු ලැබෙති, ඒ දෘෂ්ටිසම්මුතීහු; පුථුජ්ජා - පුහුදුනුවන් විසින් උපදවන ලද සම්මුතීහු නුයි ‘පුථුජ්ජා’ නම් වෙති; බොහෝ නානා ජනයන් විසින් උපදවන ලද සම්මුතීහු නුයි හෝ ‘පුථුජ්ජා’ නම් වෙත් නුයි.’ යා කාචිමා සම්මුතියො පුථුජ්ජා’ යනු වේ.