13. 18.
ක්‍ෂීණාස්‍රව මුනි තෙම මෙලො වැ චතුර්විධ ග්‍රන්‍ථයන් හැරපියා හටගත් විවාද ඇතියන් අතුරෙහි (ඡන්‍දාදීන්) වර්‍ග ව නො හැසිරෙනුයේ අශාන්තයන් අතුරෙහි ශාන්ත වූයේ උපේක්‍ෂායෙන් යුක්ත වූයේ වෙයි, හෙතෙම දෘඪග්‍රහණ රහිත වෙයි, අන්‍යයෝ (තෘෂ්ණා දෘෂ්ටි විසින්) දැඩිව ගනිත්.
විසජ්ජ ගන්ථානි මුනීධ ලෝකේ - ‘ගන්ථා’ යනු: සතර ග්‍රන්‍ථ කෙනෙකි. අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ ඉදම්සත්‍යාභිනිවෙශකායග්‍රනථ යැයි; තමාගේ දෘෂ්ටියෙහි රාගය අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, පරවාදයන්හි කෝපය නො සතුට ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, තමා ගේ ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය හෝ දැඩිව ගනී, (මේ) ශීලව්‍රත පරාමර්‍ශකායග්‍රන්ථ යැ, තමාගේ දෘෂ්ටිය ඉදම්සත්‍යාභිනිවෙශකායග්‍රනථ යයි. විසජ්ජ යනු: ග්‍රන්‍ථයන් පරිත්‍යාග කොට හෝ ‘විසජ්ජ’ යනු වේ. නොහොත් ග්‍රන්‍ථයන් ග්‍රථිත වූවන් ග්‍රන්‍ථිත වූවන් බඳනා ලදුවන් වෙසෙසින් බඳනා ලදුවන් හාත්පසින් බඳනා ලදුවන් ලග්න වූවන් ලග්නිත වූවන් හාත්පසින් බැඳුණවුන් ක්ලේශබන්‍ධනයන් පොළාපියා හෝ හැරදමා; යම් සේ ගමනට සැරසූ දෝලාවක් හෝ රියක් හෝ ගැලක් හෝ යානයක් හෝ විසුරුවත් ද, සුණු කෙරෙත් ද, එසෙයින් ම ග්‍රන්‍ථයන් පරිත්‍යාග කොට හෝ හැරපියා නොහොත් ග්‍රන්‍ථයන් ග්‍රථිත - ග්‍රන්‍ථිත - බද්ධ - විබද්ධ - ආබද්ධ - ලග්න - ලග්නිත - පරිබද්ධ වූවන් ක්ලෙශබන්ධයන් පොළාපියා හෝ හැරදමා; මුනි යනු: ‘මොන’ යී ඥානය කියනු ලැබෙයි; ඉධ යනු: මේ දෘෂ්ටියෙහි … මේ මිනිස්ලොවැ නුයි ‘විසජ්ජ ගන්ථානි මුනීධ ලෝකේ’ යනු වේ.
විවාදජාතෙසු න වග්ගසාරී - විවාදයක් උපන් කල්හි හටගත් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළ වූ කල්හි (අන්‍යයන්) ඡන්‍දයෙන් අගතියට යන කල්හි ද්වේෂයෙන් අගතියට යන කල්හි භයින් අගතියට යන කල්හි මෝහයෙන් අගතියට යන කල්හි, ඡන්‍දාගතියට නො යෙයි, ද්වෙෂාගතියට නො යෙයි, භයාගතියට නො යෙයි. මෝහාගතියට නො යෙයි, රාගවශයෙන් නො යෙයි, ද්වෙෂවශයෙන් - භයවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍යවශයෙන් - විචිකිත්සාවශයෙන් - අනුශයවශයෙන් නො යෙයි; වර්‍ග වූ ධර්‍මයන් විසින් නො යවනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබේ නුයි ‘විවාදජාතෙසු න වග්ගසාරී’ යනු වේ.
සන්තෝ අසන්තෙසු උපෙක්ඛකො සො - ‘සන්තෝ’ යනු: රාගය සන්හිඳුවන ලද හෙයින් ශාන්ත යැ, ද්වේෂය ශාන්ත වන බැවින් ශාන්ත යැ, මෝහය ශාන්ත වන බැවින් ශාන්ත යැ … සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත වන බැවින් ශමිත වන බැවින් ව්‍යුපශමිත වන බැවින් දවන ලද වන බැවින් නිවන ලද වන බැවින් විගත වන බැවින් දුරලන ලද වන බැවින ශාන්ත යැ උපශාන්ත යැ ව්‍යුපශාන්ත යැ නිර්‍වෘත යැ දුරලන ලද්දේ නුයි ’සන්තෝ’ යනු වේ. - අසන්තෙසු අශාන්තයන් අතුරෙහි අනුපශාන්තයන් - අව්‍යුපශාන්තයන් - නො නිවුණවුන් (කෙලෙස්) නො දුරලන ලදුවන් අතුරෙහි නුයි ‘සන්තෝ අසන්තෙසු ’යනු වේ. උපෙක්ඛකො සො - රහත් තෙමේ ෂඩඞගොපෙක්ෂායෙන් සමන්‍විත වූයේ යැ; ඇසින් රූපයන් දැක නො මැ සතුටු සිත් ඇතියේ වෙයි, නො සතුටු සිත් ඇතියේ නො වෙයි, උපෙක්ෂා ඇතියේ සිහි ඇතියේ නුවණැතියේ වෙසෙයි; කනින් ශබ්දයක් අසා … භාවිත වූ සිත් ඇතියේ මොනොවට දැමුණේ මරණකාලය අපේක්‍ෂා කෙරේ නුයි ‘සන්තෝ අසන්තෙසු උපෙක්ඛකො සො’ යනු වේ.
අනුග්ගහො උග්ගණ්හන්ති මඤ්ඤෙ - අන්‍යයෝ තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගනිති, දැහැගනිති, පිවිස ගනිත්; රහත් තෙම උපෙක්ෂා කෙරෙයි, නො ගනී නො දැහැගනී නො පිවිසේ නුයි ‘අනුග්ගහො උග්ගණ්හන්ති මඤ්ඤෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“විසජ්ජ ගන්ථානි -පෙ- උග්ගණ්හන්ති මඤ්ඤෙ” යී.
13. 19.
ඉක්මැගිය (රූපාදීන් අරබයා උපන් කාමාදි) ආස්‍රවයන් හැර වර්‍තමාන (රූපාදිය අරබයා උපදනා) ආස්‍රවයන් නො කරන්නාවූ ඡන්‍දාදි වසයෙන් අගතියට නො යන්නා වූ නො ද දෘෂ්ටියෙහි පිහිටා කියන්නා වූ දෘෂ්ටිගතයන් ගෙන් වෙසෙසින් මිදුණා වූ ධීර වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම (කෘතාකෘතවශයෙන්) තම හට නො ගරහනු යේ ලොවැ (තෘෂ්ණාදෘෂ්ටි) විසින් නො ඇලෙන්නේ යි.
පුබ්බාසවෙ හිත්වා නවෙ අකුබ්බං - ‘පුබ්බාසවා’ යී ඉක්මැගිය රූපවෙදනා සංඥාසංස්කාරවිඥානයෝ කියනු ලැබෙති, අතීත සංස්කාරයන් අරබයා යම් කෙලෙස් කෙනෙක් උපදනාහු නම්, ඒ කෙලෙසුන් හැර ත්‍යාග කොට පරිත්‍යාග කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘පුබ්බාසවෙ හිත්වා’ යනු වේ. න වෙ අකුබ්බං ‘නවා’ යී වර්‍තමාන රූපවෙදනාසංඥාසංස්කාරවිඥානයෝ කියනු ලැබෙති; වර්‍තමාන සංස්කාරයන් ඇරබ ඡන්‍දය නො කරනුයේ ප්‍රේමය නො කරනුයේ රාගය නො කරනුයේ නො දනවනුයේ මැනවින් නො දනවනුයේ නො නිපදවනුයේ නූපදවනුයේ නුයි ‘පුබබාසවෙ හිත්වා නවෙ අකුබ්බං’ යනු වේ.
න ඡන්දගු නො’පි නිවිස්සවාදී - ඡන්‍දයෙන් අගතියට නො යයි, ද්වේෂයෙන් අගතියට නො යයි, භයින් අගතියට නො යයි, මෝහයෙන් අගතියට නො යයි, රාගවශයෙන් නො පැමිණෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍ය වශයෙන් - විචිකිත්සා වශයෙන් - අනුශයවශයෙන් නො යයි, වර්‍ග වූ ධර්‍මයන්ගෙන් නො යවනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබේ නුයි ‘න ඡන්දගූ’ යනු වේ. නො’පි නිවිස්සවාදී ‘ශාශ්වත යැ ලෝකය මේ මැ සැබැව, අන්‍යය මෝඝ යැ’ යි නො පිහිටා කියනුයේ … සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’ යි නො පිහිටා කියනුයේ නුයි ‘න ඡන්දගු නො’පි නිවිස්සවාදී’ යනු වේ.
ස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහීණ කරන ලද්දාහුය, සිඳින ලද්දාහුය, සන්හිඳුවන ලද්දාහුය දුරලන ලද්දාහුය උපතට නුසුදුසු කරන ලද්දාහුය, නුවණගින්නෙන් දවන ලද්දාහුය, හෙතෙම දෘෂ්ටිගතයන් ගෙන් වෙසෙසින් මිදුණේ වෙන් වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසෙයි. ධීරො යනු: ධීර වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැතියේ විමංසනප්‍රඥා ඇතියේ තීරණප්‍රඥා ඇතියේ නුයි ‘ස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො’ යනු වේ.