13. 19.
ඉක්මැගිය (රූපාදීන් අරබයා උපන් කාමාදි) ආස්‍රවයන් හැර වර්‍තමාන (රූපාදිය අරබයා උපදනා) ආස්‍රවයන් නො කරන්නාවූ ඡන්‍දාදි වසයෙන් අගතියට නො යන්නා වූ නො ද දෘෂ්ටියෙහි පිහිටා කියන්නා වූ දෘෂ්ටිගතයන් ගෙන් වෙසෙසින් මිදුණා වූ ධීර වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම (කෘතාකෘතවශයෙන්) තම හට නො ගරහනු යේ ලොවැ (තෘෂ්ණාදෘෂ්ටි) විසින් නො ඇලෙන්නේ යි.
පුබ්බාසවෙ හිත්වා නවෙ අකුබ්බං - ‘පුබ්බාසවා’ යී ඉක්මැගිය රූපවෙදනා සංඥාසංස්කාරවිඥානයෝ කියනු ලැබෙති, අතීත සංස්කාරයන් අරබයා යම් කෙලෙස් කෙනෙක් උපදනාහු නම්, ඒ කෙලෙසුන් හැර ත්‍යාග කොට පරිත්‍යාග කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘පුබ්බාසවෙ හිත්වා’ යනු වේ. න වෙ අකුබ්බං ‘නවා’ යී වර්‍තමාන රූපවෙදනාසංඥාසංස්කාරවිඥානයෝ කියනු ලැබෙති; වර්‍තමාන සංස්කාරයන් ඇරබ ඡන්‍දය නො කරනුයේ ප්‍රේමය නො කරනුයේ රාගය නො කරනුයේ නො දනවනුයේ මැනවින් නො දනවනුයේ නො නිපදවනුයේ නූපදවනුයේ නුයි ‘පුබබාසවෙ හිත්වා නවෙ අකුබ්බං’ යනු වේ.
න ඡන්දගු නො’පි නිවිස්සවාදී - ඡන්‍දයෙන් අගතියට නො යයි, ද්වේෂයෙන් අගතියට නො යයි, භයින් අගතියට නො යයි, මෝහයෙන් අගතියට නො යයි, රාගවශයෙන් නො පැමිණෙයි, ද්වෙෂවශයෙන් - මොහවශයෙන් - මානවශයෙන් - දෘෂ්ටිවශයෙන් - ඖද්ධත්‍ය වශයෙන් - විචිකිත්සා වශයෙන් - අනුශයවශයෙන් නො යයි, වර්‍ග වූ ධර්‍මයන්ගෙන් නො යවනු ලැබෙයි, නො පමුණුවනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබේ නුයි ‘න ඡන්දගූ’ යනු වේ. නො’පි නිවිස්සවාදී ‘ශාශ්වත යැ ලෝකය මේ මැ සැබැව, අන්‍යය මෝඝ යැ’ යි නො පිහිටා කියනුයේ … සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබව, අන්‍යය මෝඝ යැ’ යි නො පිහිටා කියනුයේ නුයි ‘න ඡන්දගු නො’පි නිවිස්සවාදී’ යනු වේ.
ස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො - ඔහු විසින් ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ප්‍රහීණ කරන ලද්දාහුය, සිඳින ලද්දාහුය, සන්හිඳුවන ලද්දාහුය දුරලන ලද්දාහුය උපතට නුසුදුසු කරන ලද්දාහුය, නුවණගින්නෙන් දවන ලද්දාහුය, හෙතෙම දෘෂ්ටිගතයන් ගෙන් වෙසෙසින් මිදුණේ වෙන් වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වෙසෙයි. ධීරො යනු: ධීර වූයේ පණ්ඩිත වූයේ ප්‍රඥාවත් වූයේ බුද්ධිමත් වූයේ නුවණැතියේ විමංසනප්‍රඥා ඇතියේ තීරණප්‍රඥා ඇතියේ නුයි ‘ස විප්පමුත්තො දිට්ඨිගතෙහි ධීරො’ යනු වේ.
න ලිප්පති ලෝකේ අනත්තගරහී - ‘ලෙප’ නම්: තෘෂ්ණාලේපය ද දෘෂ්ටිලෙපය දැයි ලෙපයෝ දෙදෙනෙකි: … මේ දෘෂ්ටිලෙපයයි; ඔහු විසින් තෘෂ්ණාලේපය ප්‍රහීණ යැ, දෘෂ්ටිලෙපය දුරලන ලද? තෘෂ්ණාලේපය ප්‍රහීණ බැවින් දෘෂ්ටිලෙපය දුරලූ බැවින් නො ඇලුණේ අපායලෝකයෙහි නො ඇලෙයි, මිනිස්ලොවැ නො ඇලෙයි, දෙව්ලොවැ නො ඇලෙයි, ස්කන්‍ධලෝකයෙහි නො ඇලෙයි, ධාතුලොකයෙහි නො ඇලෙයි, ආයතනලෝකයෙහි නො ඇලෙයි, නො තැවැරෙයි, හාත්පසින් නො ඇලෙයි, නො ඇලුණේ නො වැකුණේ නො තැවැරුණේ නික්මුණේ නික්මැගියේ වෙසෙසින් මුදුණේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත සිතින් යුක්තව වෙසේ නුයි ‘න ලිප්පති ලෝකේ’ යනු වේ. අනත්තගරහී - දෙකරුණෙකින් තම හට ගරහයි: කළ හෙයින් හා නො කළ හෙයින් හා යැ; කිසෙයින් කළ හෙයින් හා නො කළ හෙයින් හා තමහට ගරහා ද යත්? ‘මා විසින් කායදුශ්චරිතය කරන ලද, කායසුචරිතය නො කරන ලදැ’ යි තමහට ගරහයි, මා විසින් වාග්දුශ්චරිතය කරන ලද … මා විසින් මනෝදුශ්චරිතය කරන ලද … මා විසින් ප්‍රාණවධ කරන ලද … මා විසින් මිතථ්‍යාදෘෂ්ටිය කරන ලද … මා විසින් සම්‍යග්දෘෂ්ටිය නො කරන ලදැ’ යි තම හට ගරහයි, මෙසේ කළ හෙයින් හා නො කළ හෙයින් හා තම හට ගරහයි; නොහොත් ‘ශීලයෙහි පරිපූරකාරී නො වූයෙමි තම හට ගරහයි, ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇතියෙම් නො වීමි … බොජුන්හි පමණ දතුයෙම් නො වීමි … නිදි දරු කිරීමෙහි නො යෙදුනෙම් විමි … සිහිනුවණින් සමන්‍විත වූයෙම් නො වීමි … මා විසින් සතර සතිපට්ඨානයෝ නො වඩන ලදහ’යි - සතර සම්‍යක්ප්‍රධානයෝ නො වඩන ලදහ’ යි - සතර ඍද්ධිපාදයෝ නො වඩන ලදහ’ යි - පඤ්චේන්‍ද්‍රියයෝ නො වඩන ලදහ’ යි - පඤ්චබලයෝ නො වඩන ලදහයි - සප්තබෝධ්‍යඞ්ගයෝ නො වඩන ලදහයි - ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නො වඩන ලදැයි - දුඃඛසත්‍යය මා විසින් අපරිඥාත යැ යි - දුඃඛසමුදය මා විසින් අප්‍රහීණ යැ යි - මාර්‍ගය මා විසින් අභාවිත යැ යි - නිරෝධය මා විසින් ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැයි තම හට ගරහයි; මෙසේ කළ හෙයින් ද නො කළ හෙයින් ද තම හට ගරහයි, මෙසේ තම හට ගරහන සුලු වෙයි. ඒ මෙබඳු කර්‍මය නො කරනුයේ නො දනවනුයේ නූපදවනුයේ නො නිපදවනුයේ නො පහළ කරනුයේ තමහට නො ගරහනුයේ ‘න ලිප්පති ලෝකේ අනත්තගරහී’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පුබ්බාසවෙ හිත්වා -පෙ- න ලිප්පති ලෝකේ අනත්තගරහී” යී.
13. 20.
ඒ ක්‍ෂීණාස්‍රව තෙම යම් කිසි රූපාලම්බනයෙක් හෝ ශබ්දාලම්බනයෙක් හෝ ගන්‍ධරස ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙක් හෝ (ධර්‍මාලම්බනයෙක් හෝ වේ ද) ඒ සර්‍වධර්‍මයන්හි මරසෙන් වනසා සිටියේ වෙයි. ඒ රහත් තෙම බහාතැබූ බර ඇතියේ (කෙලෙසුන් කෙරෙන්) වෙසෙසින් මිදුණේ තෘෂ්ණාදෘෂ්ටි කල්පය නො කෙරෙයි, උපරති සහිත ද නො වෙයි. තෘෂ්ණා රහිත වූයේත් වේ. (බුදුහු මෙසේ වදාළ සේකි.)