13. 15.
සත්ත්‍ව තෙමේ (පරචිත්තවිජානනඥානාදියෙන්) බලනුයේ නාමරූපය (නිත්‍යාදි විසින්) දක්නේ ය, දැක ඒ නාමරූපයන් ම (නිත්‍යාදි විසින්) දැනගන්නේය. ඒකාන්තයෙන් (හෙතෙම) බොහෝ කොට හෝ මඳ ව හෝ දක්නේ ය. බුද්ධාදි කුශලයෝ ඒ දර්‍ශනයෙන් සංසාර ශුද්ධිය නො මැ කියත්.
පස්සං නරෝ දක්ඛති නාමරූපං - බලන්නා වූ සත්ත්‍ව තෙමේ පරසිත් දන්නා නුවණින් හෝ දක්නේ පෙර විසූ කඳපිළිවෙළ සිහිකරන නුවණින් හෝ දක්නේ මසැසින් හෝ දක්නේ දිවැසින් හෝ දක්නේ නාමරූපය මැ නිත්‍ය හෙයින් සුඛහෙයින් ආත්ම හෙයින් දක්නේ ය. ඒ ධර්‍මයන්ගේ ඉපදීම හෝ නැසීම හෝ ආස්වාදය හෝ ආදීනවය හෝ නිස්සරණය හෝ නො දක්නේ නුයි ‘පස්සං නරෝ දක්ඛති නාමරූපං’ යනු වේ.
දිස්වාන වා ඤස්සති තානිමෙව - ‘දිස්වා’ යනු: පරසිත් දන්නා නුවණින් හෝ දැක, පෙර විසූ කඳපිළිවෙළ සිහි කරන නුවණින් හෝ දැක මසැසින් හෝ දැක, දිවැසින් හෝ දැක, නාමරූපය ම දැක නිත්‍ය හෙයින් සුඛ හෙයින් ආත්මහෙයින් දැනගන්නේය; ඒ ධර්‍මයන්ගේ ඉපදීම හෝ නැසීම හෝ ආස්වාදය හෝ ආදීනවය හෝ නිස්සරණය හෝ නො දැනගන්නේ නුයි ‘දිස්වාන වා ඤස්සති තානිමෙව’ යනු වේ.
කාමං බහුං පස්සතු අප්පකං වා - ඒකාන්තයෙන් බොහෝ කොට හෝ මඳ කොට හෝ නාමරූපය බලනුයේ නිත්‍ය හෙයින් සුඛ හෙයින් ආත්ම හෙයින් දක්නේ නුයි ‘කාමං බහුං පස්සතු අප්පකං වා’ යනු වේ.
න හි තෙන සුද්ධිං කුසලා වදන්ති - ‘කුසලා’ යනු: බුද්ධාදි යම් කෙනෙක් තුමූ ස්කන්‍ධයන්හි දක්‍ෂ වූවාහු ද ධාතූන්හි - ආයතනයන්හි - ප්‍රතීත්‍යසමුත්පාදයෙහි - සතිපට්ඨානයන්හි - සම්‍යක්ප්‍රධානයන්හි - ඍද්ධිපාදයන්හි - ඉන්‍ද්‍රියයන්හි - බලයන්හි - බොධ්‍යඞගයන්හි - මාර්‍ගයෙහි - ඵලයෙහි - නිර්‍වාණයෙහි දක්‍ෂ වූවාහු ද ඒ දක්‍ෂයෝ පරසිත් දන්නා නුවණින් හෝ පෙරවිසූ කඳපිළිවෙළ සිහි කරන නුවණින් හෝ මසැසින් හෝ දිවැසින් හෝ නාමරූප දැකීමෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය නො පවසති, නො කියති නො බෙණෙති නො දක්වති නො ව්‍යවහාර කෙරෙත් නුයි ‘න හි තෙන සුද්ධිං කුසලා වදන්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පස්සං නරෝ -පෙ- න හි තෙන සුද්ධිං කුසලා වදන්ති” යී.
13. 16.
(යමෙක් දෘෂ්ටියෙහි) පිහිටා කියන්නේ වේ ද (හෙතෙම) නො මැ සුවසේ හික්මියැ හැකි වෙයි. සිතින් ගන්නා ලද දෘෂ්ටිය පෙරටු කොට හැසිරෙනුයේ යම් ශාස්තෘ ආදියක් ඇසුරු කරනුයේ එහි ශුභවාද ඇතියේ ඒ ස්වකීය දෘෂ්ටියෙහි ශුද්ධිය කියන්නේ වේ ද, හෙතෙම ඒ දෘෂ්ටිය එසේ මැ දුටුයේ වේ.