13. 13.
බාහිතපාපී වූ බ්‍රාහ්මණහට මෙරමා විසින් එළැවිය යුතු ඥානයෙක් යම්හෙයකින් නැත් ද, දෙසැටදිටු දහම්හි (මෙය මැ සැබවැයි) නිශ්චය කොට දැඩි වැ ගන්නා ලද්දකුත් නැත් ද, එහෙයින් දෘෂ්ටිවිවාදයන් ඉක්මවූ හෙතෙම අන් දහමක් ශ්‍රේෂ්ඨ විසින් නො මැ දක්නේ යි.
න බ්‍රාහ්මණස්ස පරනෙය්‍යමත්ථී - ’න’ යනු: ප්‍රතික්‍ෂේප යැ; ‘බ්‍රාහ්මණ නම් සත් ධර්‍ම කෙනකුන් බාහිත හෙයින් ‘බ්‍රාහ්මණ යැ, … හේ බ්‍රාහ්මණ යි. න බ්‍රාහ්මණස්ස පරනෙය්‍යමත්ථී - බ්‍රාහ්මණහට මෙරමා විසින් එළැවියැ යුතු බවෙක් නැත; බ්‍රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවියැ යුතු බවෙක් නැත; බ්‍රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවිය යුත්තේ නො වෙයි, මෙරමා විසින් හැදැහිය යුත්තේ නො වෙයි, පරප්‍රත්‍යය රහිත වූයේ වෙයි, මෙරමා පිළිබඳ වූ පැමිණීම් ඇත්තේ නො වෙයි; නො මුළා වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ දැනගනී දක්නේයි. ’සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි බ්‍රාහ්මණහට මෙරමා විසින් එළවියැ යුතු බවෙක් නැත, බ්‍රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවිය යුත්තේ නො වෙයි, මෙරමා බසින් හැදැහියැ යුත්තේ නො වෙයි, පරප්‍රත්‍යය වූයේ නො වෙයි, මෙරමා පිළිබඳ පැමිණීම් ඇත්තේ නො වෙයි, නො මුළා වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ (තෙමේ) මැ දැනගනි, දක්නේ යි. ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ ය’ යි … යම් කිසිවෙක් සමුදයධර්‍ම වේ නම් ඒ සියල්ල නැසෙන සුලු ය’ යි බ්‍රාහ්මණහට පරා විසින් එළවියැ යුත්තෙක් නැත, බ්‍රාහ්මණ තෙම පරනෙය්‍ය වූයේ නො වෙයි, පරා පිළිබඳ හැදහීම් ඇත්තේ නො වෙයි, පරප්‍රත්‍යය වූයේ නො වෙයි, පරා අයත් ගමන් ඇත්තේ නො වෙයි. අසම්මූඪ වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ (තෙමේ ම) දැනගනී දක්නේ නුයි ‘න බ්‍රාහ්මණස්ස පරනෙය්‍යමත්ථී’ යනු වේ.
ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: දෙසැට දිටුගතයන්හි; නිච්ඡෙය්‍ය යනු: නිශ්චය කොට විනිශ්චය කොට විමසා වෙසෙසින් විමසා තුලනය කොට තීරණය කොට හෙළි කොට විභූත කොට අවධි කොට ගැනීමෙක් කොටස් වශයෙන් ගැනීමෙක් උත්තමග්‍රහණයෙක් කොට්ඨාසග්‍රහණයෙක් රාශි වශයෙන් ගැනීමෙක් විශෙෂරාශි වශයෙන් ගැනීමෙක් ‘මේ සැබව අවිපරිණාම යැ තත්ථ්‍ය යැ විද්‍යමාන යැ යථාවත් යැ අවිපරීත යැ’ යි ගන්නා ලද්දෙක් දැහැගන්නා ලද්දෙක් පිහිටාගන්නා ලද්දෙක් ඇතුළු වැ ගන්නා ලද්දෙක් ඇලීගන්නා ලද්දෙක් නැත, විද්‍යමාන නො වයි, නො ලැබෙයි, ප්‍රහීණ යැ සමුච්ඡින්න යැ සන්හිඳුවන ලද දුරලන ලද උපතට නො සුදුසු කරන ලද නුවණගින්නෙන් දවන ලද නුයි ‘ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං’ යනු වේ.
තස්මා විවාදානි උපාතිවත්තො - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් දෘෂ්ටිකලහයන් දෘෂ්ටිභණ්ඩනයන් දෘෂ්ටිවිග්‍රහයන් දෘෂ්ටිවිවාදයන් දෘෂ්ටිමෙධගයන් පසු කෙළේ ඉක්මැවූයේ මැනවින් ඉක්මැවූයේ වෙසෙසින් ඉක්මැවූයේ නුයි ‘තස්මා විවාදානි උපාතිවත්තො’ යනු වේ.
න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං - සතිපට්ඨානයන් හැර සම්‍යක්ප්‍රධානයන් හැර ඍද්ධිපාදයන් හැර ඉන්‍ද්‍රියයන් හැර බලයන් හැර බොධ්‍යඞගයන් හැර ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය හැර අන්‍ය ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපත්තියක් මාර්‍ගයක් අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ විශිෂ්ට වූ පාමොක් වූ උතුම් වූ ප්‍රවර වූ දහමක් නො බලයි නො දකී අවලොකනය නො කෙරෙයි නො සිතයි නො විමසා නුයි ‘න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න බ්‍රාහ්මණස්ස -පෙ- න හි සෙට්ඨතො පස්සති ධම්මමඤ්ඤං” යී.
13. 14.
ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල එපරිද්දෙන් ම දනිමි දකිමි (කියන්නාහු) දෘෂ්ටියෙන් ශුද්ධිය හදහති. (යම්හෙයකින් ඔවුනතුරෙන් එකෙකු දු) ඉදින් දුටුයේ නමුදු තමාගේ ඒ දර්‍ශනයෙන් (දුඃඛපරිඥානාදි කුමක් සිදුකරන ලද ද, ඔහු (ආර්‍ය්‍යමාර්‍ගය) ඉක්මවා අන් මඟෙකින් ශුද්ධිය කියත් ද, නොහොත් (බුද්ධාදීහු) ඔවුන් ඉක්මවා අන් මඟෙකින් ශුද්ධිය කියත් ද, එහෙයිනි.
ජානාමි පස්සාමි තෙථෙව එතං - ‘ජානාමි’ යනු: පරචිත්තවිජානනඥානයෙන් දනිමි, පූර්‍වෙනිවාසානුසමෘතිඥානයෙන් හෝ දනිමි; ‘පස්සාමි’ යනු: මසැසින් හෝ දකිමි, දිවැසින් හෝ දකිමි; තථෙව එතං - තෙල සැබව විද්‍යමාන යැ යථාවත් යැ අවිපරීත නුයි ‘ජානාමි පස්සාමි තථෙව එතං’ යනු වේ.