1. 6.
එහෙයින් සත්ත්‍ව තෙමේ සියලු කල්හි සිහි ඇති වැ කාමයන් දුරු කරන්නේ යැ. මෙසේ ඒ කාමයන් දුරුකොට බිඳුණු නැව දිය ඉස පරතෙර යන්නකු සෙයින් චතුරෝඝය තරණය කරන්නේ යි.
තස්මා ජන්තු සදා සතෝ - එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් කාමයන්හි තෙල ආදීනව දක්නේ නුයි තස්මා: ජන්තු සත්ත්‍ව - නර-මාණව-පුරුෂ-පුද්ගල - ජීව - ජාගු - ජන්තු - ඉන්දගු - මනුජ තෙම; සදා - සියලු දවස්හි, සියලු කල්හි, දවසක් පාසා, අවිච්ඡන්න ව, නිරතුරු, අව්‍යාකීර්‍ණ ව, පිළිවෙළින් එක් ව, රළවැළක් මෙන් අවිරල ව, නො සිඳැ, එක් ව, ස්පෘෂ්ට ව, පෙරබතැ, පසුබතැ, පෙරයම්හි, මැදියම්හි, පසුයම්හි, අවපසැ, පුරපසැ, වසන්හි, හිමත්හි, ගිමන්හි, පෙරවියෙහි, මැදිවියෙහි, පසුවියෙහි; සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ, කයෙහි කායානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ, වේදනාවන්හි... චිත්තයෙහි... ධර්‍මයන්හි ධම්මානුපස්සනා සීවටන් වඩමින් සිහි ඇතියේ; අන්‍ය වූ ද සතර කාරණයකින් සිහි ඇතියේ...*හෙතෙම ස්මෘතිමත් වූයේ සිහි ඇතියේ යයි කියනු ලැබේ නුයි ‘තස්මා ජන්තු සදා සතෝ’ යනු වේ.
කාමානි පරිවජ්ජයෙ - කාමා යනු: විස්තර හෙයින් වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැයි කාමයෝ දෙදෙනෙක් වෙති. (වස්තුකාමයෝ නම් මනාපිකරූපාදීහු)... මොහු වස්තුකාමයෝ යැයි කියනු ලැබෙත්. (ක්ලේශකාමයෝ නම් ඡන්දකාමාදීහු)... මොහු ක්ලේශකාමයෝ යැයි කියනු ලැබෙත්. කාමානි පරිවජ්ජයෙ - දෙ කරුණෙකින් කාමයන් දුරු කරන්නේ ය: විෂ්කම්භණ හෙයින් හෝ සමුච්ඡේද හෙයිනැ. කිසෙයින් විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ ද යත්: අස්ථිකඞ්කාලයක් (ඇටසැකිල්ලක්) වැන්නැ කාමයෝ අල්පාස්වාද හෙයිනැයි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ යැ. මාංසපේශියක් වැන්නැ කාමයෝ බහුසාධාරණ වන බැවිනැයි දක්නේ කාමයන් විෂ්කම්භණ හෙයින් දුරු කරන්නේ යැ. තෘණොල්කාවක් (තණහුලක්) වැන්නැ කාමයෝ අනුදහන (දහනකිස සපයන) බැවිනැයි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ යැ... නෛවසංඥානාසංඥායතන සමාපත්ති වඩනුයේ ද විෂ්කම්භණ විසින් කාමයන් දුරු කරන්නේ යැ. මෙපරිද්දෙන් විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කරන්නේ යි. (සෝවාන් මඟ වඩමින් අපායගමනීය කාමයන් සමුච්ඡේද හෙයින් දුරු කරන්නේ යැ)... මෙසෙයින් සමුච්ඡේද හෙයින් කාමයන් දුරු කරන්නේ නුයි ‘කාමානි පරිවජ්ජයෛ’ යනු වේ.
තෙ පහාය තරෙ ඕඝං - තෙ යනු: වස්තුකාමයන් පරිජානනය කොට ක්ලේශකාමයන් පහාය - (හැර) දුරු කොට විනෝදනය කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, කාමච්ඡන්‍දනීවරණය හැර දුරු කොට විනෝදනය කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා, ව්‍යාපාද නීවරණය... ථීනමිද්ධනීවරණය... උද්ධච්චකුක්කුච්චනීවරණය... විචිකිච්ඡානීවරණය... අනභාවයට පමුණුවා, කාමෝඝය භවොඝය දෘෂ්ට්‍යොඝය අවිද්‍යොඝය තරණය කරන්නේය, උත්තරණය, ප්‍රතරණය, සමතික්‍රමණය කරන්නේය ඉක්මවන්නේ නුයි ‘තෙ පහාය තරෙ ඕඝං’ යනු වේ.