1.
කාමසූත්‍රනිර්දේශය
1. 1.
“වස්තුකාමය කැමැති වන සත්ත්වයාහට ඉදින් ඒ කාමය සමෘද්ධ වේ නම්, එකල්හි සත්ත්‍ව තෙමේ කැමැති වස්තුව ලැබ ඒකාන්තයෙන් සතුටු සිත් ඇත්තේ වේ.”
කාමං කාමයමානස්ස - ‘කාමා’ යනු විස්තර විසින් වස්තුකාමයෝ යැ, ක්ලේශකාමයෝ යැ යි කාමයෝ දෙදෙනෙක් වෙති. වස්තුකාමයෝ කවරහ?යත්: මන වඩන රූපයෝ යැ, මන වඩන ශබ්දයෝ යැ, මන වඩන ගන්‍ධයෝ යැ, මන වඩන රසයෝ යැ, මන වඩන ස්පර්‍ශයෝ යැ, අතුරුණු යැ, පොරෝන යැ, දැසිදස්හු යැ, එළු බැටෙළු යැ, හූරු කුකුළු යැ, ඇත් අස් ගව වෙළඹහු යැ, කෙත් යැ, වතු යැ, කහවණු යැ, රන් යැ, ගම් නියම්ගම් රජදහන්හු යැ, රට යැ, දනවු යැ, කොෂ යැ, කොටුගෙ යැ, යම් කිසි ඇලුම් කට යුතු වස්තු යැ (යන මොහු) වස්තුකාමයෝ යැ.
තව ද, අතීතකාමයෝ යැ, අනාගතකාමයෝ යැ, වර්‍තමානකාමයෝ යැ, ආද්ධ්‍යාත්මිකකාමයෝ යැ, බාහිරකාමයෝ යැ, අද්ධ්‍යාත්මබාහ්‍යකාමයෝ යැ, හීනකාමයෝ යැ, මධ්‍යමකාමයෝ යැ, ප්‍රණීතකාමයෝ යැ, සතර අපායයෙහි වූ කාමයෝ යැ, මිනිස්ලොවැ වූ කාමයෝ යැ, දෙව්ලොවැ වූ කාමයෝ යැ, එළඹ සිටි කාමයෝ යැ, (අරමුණු මවා රමණය කරන) නිර්මිතකාමයෝ යැ, පර නිර්මිත කාමයෝ යැ, අනිර්මිත (=පියෙවින් පිළියෙල වූ) කාමයෝ යැ, (මේ මාගේ යැ යි) පිළිගත් කාමයෝ යැ, (එසෙයින්) නො පිළිගත් කාමයෝ යැ, (තෘෂ්ණාවශයෙන්) මේ මාගේ යැ යි ගත් කාමයෝ යැ, (එසේ නො ගත්) අමමායිත කාමයෝ යැ, සියලු මැ කාමාවචරධර්‍මයෝ යැ, සියලු මැ රූපාවචරධර්‍මයෝ යැ, සියලු මැ අරූපාවචරධර්‍මයෝ යැ, තෘෂ්ණාවට කාරණ වූ තෘෂ්ණාවට අරමුණු වූ (ධර්‍මයෝ) ප්‍රාර්‍ත්‍ථනා කළ යුතු අර්‍ත්‍ථයෙන් ඇලීමට යොග්‍යාර්ථයෙන් (කුලමදාදි) මද ඉපදවිය යුතු අර්‍ත්‍ථයෙන් කාමයෝ යි. මොහු වස්තුකාමයෝ යැ යි කියනු ලැබෙත්.
ක්ලේශකාමයෝ කවරහ? යත්: ඡන්‍දය කාම යැ, රාගය කාම යැ, ඡන්‍දරාගය කාම යැ, සඞ්කල්පය කාම යැ, රාගය කාම යැ, සඞ්කල්පරාගය කාම යැ, පඤ්චකාමගුණයෙහි යම් කාමසඞ්ඛ්‍යාත ඡන්‍දයෙක්, කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නේහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ඡායෙක්, කාමයන්හි ඇතුළු වීමෙක්, කාමසඞ්ඛ්‍යාත ඕඝයෙක්, කාමයෝගයෙක්, කාමොපාදානයෙක්, කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද -
1. කාමය, තා ගේ මුල දිටිමි. කාමය, තෝ සඞ්කල්පය හේතු කොට ගෙන උපදනෙහි. (දැන් මම) තා නො පතමි. කාමය, මෙසෙයින් තෝ නූපදනෙහි යැ යි.
මොහු ක්ලේශකාමයෝය යි කියනු ලැබෙත්.
කාමයමානස්ස - කැමැති වන, ආශංසනය කරන, ආස්වාදනය කරන, ප්‍රාර්‍ත්‍ථනා කරන, ලබනු කැමති වන, තෘෂ්ණායෙන් තෘප්තිය උපදවන ඔහුට නු යි ‘කාමං කාමයමානස්ස’ යනු වේ.
තස්ස චේතං සමිජ්ඣති- ‘තස්ස චෙ’ යනු: ක්‍ෂත්‍රිය වූ හෝ බ්‍රාහ්මණ වූ හෝ වෛශ්‍ය වූ හෝ ශුද්‍ර වූ හෝ ගිහි වූ හෝ පැවිදි වූ හෝ දෙවි වූ හෝ මිනිස් වූ හෝ ඔහුට යැ. ‘තං’ යි වස්තුකාමයෝ කියනු ලැබෙති. මන වඩන රූපයෝ යැ, ශබ්දයෝ යැ, ගන්‍ධයෝ යැ, රසයෝ යැ, ස්පර්‍ශයෝ යි. සමිජ්ඣති යනු: නිපැදෙයි, මොනවට නිපැදෙයි, ලැබෙයි, පිළිලැබෙයි, පැමිණෙයි, විඳී නු යි ‘තස්ස චෙ තං සමිජ්ඣති’ යනු වේ.
අද්ධා පීතිමනො හොති- අද්ධා යනු: ඒකාන්තවචන යැ, නිස්සංශය වචන යැ, නිසැකවචන යැ, අද්වෛධවචන යැ, නොදෙහිත් වචන යැ, නියොගවචන යැ, අවිරුද්ධවචන යැ, සනිටුහන් වචනයෙකි. මේ ‘අද්ධා’ යනු වේ. පීති යනු පඤ්චකාමගුණප්‍රතිසංයුක්ත වූ යම් ප්‍රීතියෙක්, ප්‍රාමෝද්‍යයෙක්, ආමොදනයෙක්, ප්‍රමෝදනයෙක්, හර්‍ෂයෙක්, ප්‍රහර්‍ෂයෙක් (=හටුපහටු ආකාරයෙක්), ප්‍රීතිධනයෙක්, සතුටෙක්, ඔද වැඩිබවෙක්, සතුටුසිත් ඇති බවෙක්, චිත්තයාගේ පැතුරුණුබවෙක් වේ ද එය යි. මනෝ යනු: යම් සිතෙක්, මනසෙක්, මානසයෙක්, හෘදයයෙක්, පණ්ඩර වූ භවාඞ්ගසිතෙක්, මනසෙක්, ‘මන’සඞ්ඛ්‍යාත ආයතනයෙක්, මනින්‍ද්‍රියයෙක්, විඥානයෙක්, විඥානස්කන්‍ධයෙක්, තදනුරූප වූ (හෙවත් ඒ ස්පර්‍ශාදිය උපදවන) මනෝවිඥානධාතුයෙක් වේ ද, මෙය ‘මන” යැ යි කියනු ලැබේ. මේ මනස මේ ප්‍රීතිය හා සහගත වූයේ, සමග උපන්නේ, සංසෘෂ්ට වූයේ, සම්ප්‍රයුක්ත වූයේ, එක් වැ උපන්නේ, එක් වැ නිරුද්ධ වනුයේ, (හදවත් විසින්) ඒකවස්තුක වූයේ, එක් අරමුණෙහි වූයේ වේ. පීතිමනො හොති - ප්‍රීති සහිත සිත් ඇතියේ වෙයි. තුටුසිත් ඇතියේ, හටුසිත් ඇතියේ, පහටුසිත් ඇතියේ, අත්තමන වූයේ, ඔද වැඩි සිත් ඇතියේ, මුදිත වූ සිත් ඇතියේ, ප්‍රමුදිත වූ සිත් ඇතියේ වේ නු යි ‘අද්ධා පීතිමනො හොති’ යනු වේ.