1. 5.
“අබල වූ කෙලෙස්හු ඒ මිනිසා මැඩ ගනිති. යළි ප්‍රකට අප්‍රකට උපද්‍රවයෝ ඒ කාමගිද්ධයා මඩිති. එහෙයින් සිදුරු වූ නැවකට ජලය වදනා සෙයින් ජාත්‍යාදි දුක ඔහු අනුව යේ”
අබලා නං බලියන්ති - අබලා යනු: කෙලෙස්හු, අබලයෝ යැ, දුබලයෝ යැ, අල්පබලයෝ යැ, අල්පශක්ති ඇතියෝ යැ, හීනයෝ යැ, නිහීනයෝ යැ, පරිහීනයෝ යැ, අවමත(අවඥාත)යෝ යැ, ලාමකයෝ යැ, ප්‍රත්‍යයහීනයෝ යැ, පරිත්තයෝ යි. ඒ කෙලෙස්හු ඒ පුද්ගලයා සහනය කෙරෙති (-මඩිති), හාත්පසින් මඩිති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් අල්වාගනිති, මර්දනය කෙරෙත් නුයි මෙසෙයින් ද අබලයෝ ඔහු මඩිති. නොහොත් ශ්‍රද්ධාබල වීර්‍ය්‍යබල ස්මෘතිබල සමාධිබල ප්‍රඥාබල හිරිබල ඔත්තපබල යමක් හට නැද්ද, (එහෙයින්) අබල වූ දුබල වූ අල්පබල වූ අල්පශක්ති වූ හීන වූ නිහීන වූ පරිහීන වූ අවමත වූ ලාමක වූ ප්‍රත්‍යයහීන වූ පරිත්ත වූ ඒ පුද්ගලයා ඒ ක්ලේශයෝ සහනය කෙරෙති, හාත්පසින් මඩිති, අභිභවනය කෙරෙති, යටපත් කෙරෙති, හාත්පසින් ගනිති, මිරිකත් නුයි මෙසෙයින් ද “අබලයෝ ඔහු මඩිත්”.
මද්දන්තෙ නං පරිස්සයා - පරිස්සයා යනු: පරිශ්‍රය (උපද්‍රවයෝ) දෙදෙනෙකැ: ප්‍රකටපරිශ්‍රය යැ, ප්‍රතිච්ඡන්නපරිශ්‍රය යැයි. ප්‍රකට උපද්‍රවයෝ කවරහ? යත්: සිහ යැ, වග යැ, දිවි යැ, වලස් යැ, තරස් යැ, කොක්නා යැ, මියු යැ, ඇත් යැ, සප් යැ, නුහුසු යැ, පත්තෑ යැ, කළ සොරකම් ඇති හෝ කළ සොරකම් නැති හෝ සොරු හෝ සැහැසියෝ යැ; චක්ෂුරොග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණරොග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්‍ෂරොග යැ කර්‍ණරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාශ යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්ෂිරොග යැ මූර්ඡා යැ රක්තාතීසාර යැ ආමශුල යැ විසූචිකා යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාසකුෂ්ට යැ ක්‍ෂය යැ අපස්මාර යැ දද යැ කැසි යැ කස් යැ ව්‍රණ යැ විතච්ඡිකා (-තලරොග) යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්‍ශස් යැ පොළ යැ භගන්‍දරා යැ පිතින් නැඟි ආබාධ යැ සෙමින් නැඟි ආබාධ යැ වයින් නැඟි ආබාධ යැ සාන්නිපාතික ආබාධ යැ ඍතුපරිණාමයෙන් උපන් ආබාධ යැ විෂම වූ ඊර්‍ය්‍යාපථයෙන් නැඟි ආබාධ යැ උපක්‍රමයෙන් උපන් ආබාධ යැ කර්‍මවිපාකයෙන් උපන් ආබාධ යැ ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්‍රස්‍රාව යැ, මැසි - මදුරු - වා - අවි - දික්දැ යන මොවුන්ගේ පහසින් උපන් පීඩා යැ යන මේ හෝ යි. මොහු ප්‍රකට උපද්‍රවයෝ යැයි කියනු ලැබෙත්.
ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ කවරහ? යත්: කායදුශුචරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ, කාමච්ඡන්‍දනීවරණ යැ ව්‍යාපාදනීවරණ යැ ථීනමිද්ධ නීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ, රාග යැ ද්වේෂ යැ මෝහ යැ ක්‍රෝධ යැ උපනාහ යැ ම්‍රක්ෂ (මෙරමා ගුණ මැකීම්) යැ පලාස (යුගග්‍රාහ) යැ ඊර්‍ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ මායා (ස්වදෝෂ ගුහන) යැ සාඨෙය්‍ය (අසද් ගුණ ප්‍රකාශ) යැ (ඔවා නො ගන්නා) ස්තම්භ යැ සංරම්භ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්‍රමාද යැ, සියලු ක්ලේශයෝ යැ සියලු දුශ්චරිතයෝ යැ සියලු දරථයෝ යැ සියලු (ක්ලේශ) පරිදාහයෝ යැ සියලු (ක්ලේශ) සන්තාපයෝ යැ සියලු අකුශලාභිසංස්කාරයෝ යැ යන මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යැයි කියනු ලැබෙත්.