1. 2.
“ඒ වස්තුකාමයන් කැමැති වන්නා වූ උපන් තෘෂ්ණා ඇති ඒ පුද්ගලයාගේ ඒ කාමයෝ ඉදින් පිරිහෙත් නම්, එකල්හි හෙතෙම විෂ පෙවූ ශල්යයෙකින් (=ඊතලයෙකින්) විදුනා ලද්දකු සෙයින් පෙළනු ලැබේ.”
තස්ස චෙ කාමයානස්ස - තස්ස චෙ යනු: ඒ ක්ෂත්රියයාගේ හෝ බ්රාහ්මණයාගේ හෝ වෛශ්යයාගේ හෝ ශුද්රයාගේ හෝ ගෘහස්ථයාගේ හෝ ප්රව්රජිතයාගේ හෝ දෙවියාගේ හෝ මිනිසාගේ හෝ යැ. කාමයානස්ස යනු: කාමවස්තූන් කැමැති වන්නහුගේ, ඉවසන්නහු (=ආස්වාදනය කරන්නහු)ගේ, ප්රාර්ත්ථනා කරන්නහුගේ, ලබනු කැමැති වන්නහුගේ, තෘෂ්ණා වශයෙන් ගුණ කියන්නහුගේ; නොහොත් කාමතෘෂ්ණාව විසින් යවනු ලැබෙයි, පමුණුවනු ලැබෙයි, වහනය කරනු ලැබෙයි, ගෙනයනු ලැබෙයි; යම් සේ ඇත්යානයෙකින් හෝ අස්යානයෙකින් හෝ ගවයානයෙකින් හෝ බැටෙළුයානයෙකින් හෝ මැඬයානයෙකින් හෝ ඔටුයානයෙකින් හෝ කොටළුයානයෙකින් හෝ යවනු ලැබේ ද, පමුණුවනු ලැබේ ද, වහනය කරනු ලැබේ ද, ගෙන යනු ලැබේ ද, එසෙයින් ම කාමතෘෂ්ණාව විසින් යවනු ලැබෙයි, පමුණුවනු ලැබෙයි, වහනය කරනු ලැබෙයි, ගෙන යනු ලැබේ නුයි ‘තස්ස චෙ කාමයානස්ස’ යනු වේ.
ඡන්දජාතස්ස ජන්තුනො - ඡන්ද නම්: පස්කම්ගුණයෙහි යම් කාම සඞ්ඛ්යාත ඡන්දයෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නෙහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ච්ඡායෙක්, කාමයන්හි බැසගැනීමෙක්, කාමසංඛ්යාත ඕඝයෙක්, කාමයෝගයෙක්, කාමොපාදානයෙක්, කාමච්ඡන්දනීවරණයෙක් වේ ද, ඔහුට ඒ කාමච්ඡන්දය තෙමේ උපන්නේ, මොනොවට උපන්නේ, නිපන්නේ, වෙසෙසින් නිපන්නේ, පහළ වූයේ වේ. ජන්තුනො යනු: සත්ත්වයාගේ නරයාගේ, මානවයාගේ, පුරුෂයාගේ, පුද්ගලයාගේ, ජීවයාගේ, ච්යුතියෙන් ජාතියට යන්නහුගේ, ජන්තුහු ගේ, කර්මයෙන් යන්නහු ගේ, මිනිසාගේ, නු යි ‘ඡන්දජාතස්ස ජන්තුනො’ යනු වේ.
තෙ කාමා පරිහායන්ති - වස්තුකාමාදි ඒ කාමයෝ හෝ පිරිහෙති, ඒ පුද්ගල තෙමේ හෝ කාමයන් කෙරෙන් පිරිහේ. කිසෙයින් ඒ කාමයෝ පිරිහෙති? යත්: ඔහු ජීවත් වැ සිටිය දී මැ ඒ (කාමසඞ්ඛ්යාත) භෝගයන් රජදරුවෝ හෝ හැරගනිති. සොරු හෝ පැහැරැගනිති. ගින්න හෝ දවයි. (ඕඝ ආදි) උදකය හෝ මුහුදට ගෙන යයි. අමනාප වූ දායාදයෝ (=නොහිමියෝ) හෝ හැරැගනිති. නිධාන කොට තබන ලදුයේ හෝ නො ලැබෙයි. දුෂ්ප්රයුක්ත වූ (=වරදවා යොදන ලද කෘෂිවණිගාදි) කර්මාන්තයෝ හෝ බිදීයෙති. කුලයෙහි ඒ භෝගයන් විසුරුවන, නසන, විධවංසනය කරන, කුලඅඟුරෙක් (=කුලඝාතකයෙක්) හෝ උපදී. අනිත්යතාව මැ අටවැනි කොට ඇත. මෙසේ ඒ කාමයෝ හෙති, පිරිහෙති, හාත්පසින් වැනැසෙති, වැගිරෙති, අතුරුදහන් වෙති, සුණුවිසුණු වැ යෙත්.
කිසෙයින් හෙතෙම කාමයන් කෙරෙන් පිරිහෙයි? යත්: ඒ භෝගයන් තිබියැ දී මැ හෙතෙම ච්යුත වෙයි, මැරෙයි, අතුරුදන් වෙයි, වැනැසේ. මෙසෙයින් හෙතෙම කාමයන් කෙරෙන් හෙයි, පිරිහෙයි, හාත්පසින් වැනැසෙයි, ගිලිහෙයි, අතුරුදහන් වෙයි, සුණුවිසුණු වේ.
1. “සොරු ද රජදරුවෝ ද (භෝගයන්) පැහැරගනිති. ගින්න දවයි. උදකාදියෙන් නැසෙයි. යළි (ශේෂ වූ) භෝගයන් සහිත ශරීරය මරණය සමග හැරැපියයි.
2. පණ්ඩිතපුරුෂ තෙමේ තෙල භෝගයන්ගේ විනාශය දැන වළඳනුයේ ද දෙනුයේ ද වෙයි. සම්පත් වූ ලෙසින් දී වළඳා අනින්දිත වූයේ දෙව්ලොවට පැමිණේ.”
තෙ කාමා පරිහායන්තී සල්ලවිද්ධොව රුප්පති - යම් සේ ලොහොමුවා හීයෙකින් හෝ ඇටමුවා හීයෙකින් හෝ දළමුවා හීයෙකින් හෝ සිඟුමුවා හීයෙකින් හෝ දඬුමුවා හීයෙකින් හෝ විදුනා ලදුයේ විසිරේ ද (=විකාරයට පැමිණේ ද), සැලේ ද (=කිපේ ද), ගැටේ ද, පෙළේ ද, පෙළන ලදුයේ හටගත් දොම්නස් ඇතියේ වේ ද, එසෙයින් ම වස්තුකාමයන්ගේ විපරිණාමයෙන් වූ අන්යථාත්වයෙන් සෝකපරිදේව දුක්ඛදෝමනස්සුපායාසයෝ උපදිත්. හෙතෙම කාමශල්යයෙන් ද ශෝකශල්යයෙන් ද විදුනා ලදුයේ විසිරෙයි, සැලෙයි, ගැටෙයි, පෙළෙයි. පෙළන ලදුයේ හටගත් දොම්නස් ඇතියේ වේ නු යි “සල්ලවිද්ධොව රුප්පති” යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තස්ස චෙ කාමයානස්ස -පෙ- සල්ලවිද්ධොව රුප්පති” යි.
1. 3.
“යමෙක් වස්තුකාමක්ලේශකාමයන් (එහි ඡන්දරාගය විෂ්කම්භණයෙන් හෝ සමුච්ඡේදයෙන් හෝ) තමාගේ පයින් සර්පයකුගේ හිස මෙන් දුරු කෙරේ ද, ඒ මහණ ලොව්හි විසත්තිකා සඞ්ඛ්යාත වූ මේ තෘෂ්ණාව ස්මෘතිමත් වැ ඉක්මවයි.”
යො කාමෙ පරිවජ්ජේති - යො - යම් කිසි, යම් බඳු වූ, යමෙකින් යුක්ත වූ, යම්සේ සිටි, යම් ප්රකාර වූ, යම් තනතුරකට පැමිණි, යම් ධර්මයෙකින් යුක්ත වූ ක්ෂත්රියයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ වෛශ්යයෙක් හෝ ශුද්රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යි. කාමෙ පරිවජ්ජේති- කාමයෝ නම්: විස්තර විසින් කාමයෝ දෙදෙනෙක් වෙති: වස්තුකාමයෝ ද, ක්ලේශකාමයෝ දැ යි... මොහු වස්තු කාමයෝ යැ යි කියනු ලැබෙත්... මොහු ක්ලේශකාමයෝ යැ යි කියනු ලැබෙත්.
කාමෙ පරිවජ්ජේති - දෙකරුණෙකින් කාමයන් දුරු කෙරෙයි: විෂ්කම්භණ විසින් හෝ සමුච්ඡේද විසින් හෝ යැ. කෙසේ විෂ්කම්භණ විසින් කාමයන් පරිවර්ජන කෙරේ ද ? යත්: ‘අල්පාස්වාද වන බැවින් කාමයෝ ඇටසැකිල්ලක් වැන්නැ’යි නුවණැසින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි; බහුසාධාරණ වන බැවින් ‘කාමයෝ මාංසපෙශි වැන්නහ’යි නුවණැසින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි; ‘දහනකෘත්යසම්පාදක වන (=හස්තාදිය දවන) බැවින් කාමයෝ තෘණොල්කා (=තණහුලක්) වැන්නහ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි. ‘මහාපරිදාහකර වන බැවින් කාමයෝ අඞ්ගාරකර්ෂු (=අඟුරුවළ) වැන්නහ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි.