1191. (සත්ය) ධර්මය බොරු කීමෙන් නසන ලදුයේ ඒකාන්තයෙන් ජ්යේෂ්ඨාපචායනය (වැඩිහිටියන් පිදීම නම් වූ ගුණය) තෙමේ මැ වැනැසේ. ධර්මය නො නටුයේ කිසිත් නො නසා. එහෙයින් සත්යධර්මය නො නසන්නේ මැනැවි. ධර්මය නැසුණේ ඔබ නො නසාවා.
1192. (කාරණයක්) විචාරන ලදුයේ, යමෙක් එය දන්නේ ම අන් ලෙසෙකින් කියා ද, දෙවියෝ (ඔහු) අත්හැර යති. (එසේ) බොරු කියන්නාගේ මුඛය ද දුගඳ හමයි. අහසේ තමා සිටි තැනින් ද ගිලිහේ.
1193. මහරජ, ඉදින් සත්යය කියෙහි නම් පෙර පරිදි අනුභාව සම්පන්න වන්නෙහි ය. චේතිය රාජය, බොරු කියන්නෙහි නම් බිමට බැස සිටුනෙහි.
1194. යමෙක් දන්නා දැයක් විචාරන ලදුයේ අන් අයුරෙකින් පවසන්නේ ද ඔහුගේ රාජ්යයට නොකල්හි වැසි වසී, සුදුසුකල්හි නො වසී.
1195. චේතිය මහරජ, ඉදින් සත්යය බෙණෙන්නේ ද පෙර පරිදි ම අනුභාව සම්පන්න වන්නෙහි ය, බොරු කියන්නේ නම් පොළොවෙහි පිවිසෙන්නෙහි ය.
1196. චේතිය මහරජ, යමෙක් විචාරන ලදුයේ දන්නා දැය අන් අයුරෙකින් පවසන්නේ ද, ඔහුගේ දිව සර්පයකුගේ මෙන් දෙදිව් වේ.
1197. රාජය, ඉදින් සත්යය බෙණෙන්නේ ද පෙර පරිදි අනුභාව සම්පන්න වන්නෙහි ය. ඉදින් බොරු කියන්නෙහි නම් චේතිය රජතුමනි, වැඩියක් බිමැ පිවීසෙහි ය.
1198. මහරජ, දන්නා දෙයක් විචාරන ලදුයේ, යමෙක් එය අන් අයුරෙකින් පවසන්නේ ද ඔහුට, මාලුවාට මෙන් දිව නැති වේ.
1199. මහරජ, ඉදින් සත්යය බණන්නෙහි ද පෙර පරිදි අනුභාව සම්පන්න වන්නෙහි ය. බොරු කියන්නෙහි නම් රජතුමනි, වැඩියක් පොළොවැ පිවිසෙන්නෙහි ය.
1200. මහරජ, දන්නා දැයක් විචාරන ලදුයේ යමෙක් එය අන් අයුරෙකින් පවසා ද, ඔහුගේ කුලයේ ගැහැනු උපදිත්. පිරිමි නූපදනාහ.
1201. මහරජ, ඉදින් සත්යය බෙණෙහි නම් පෙර පරිදි අනුභාව සම්පන්න වන්නෙහි ය. බොරු කියන්නෙහි නම් චේතිය රජතුමනි, වැඩියක් පොළොවැ පිවිසෙහි ය.
1202. මහරජ, දන්නා දැයක් විචාරන ලදුයේ, යමෙක් එය අන් අයුරෙකින් පවසන්නේ ද, ඔහුට පුත්රයෝ නො වෙත්. වෙත් නම් උපකාර නො කොට දෙසැ දෙසැ යෙත්.
1203. මහරජ, ඉදින් සත්යය බෙණෙහි ද පෙර පරිදි අනුභාවසම්පන්න වන්නෙහි ය. බොරු කියන්නෙහි නම් චේතිය රජ තුමනි, වැඩියක් පොළොවෙහි පිවිසෙන්නෙහි.
1204. පෙරැ මේ චේතිය රජ කපිල මහර්ෂීන් කරණ කොට ගෙන රජ වූයේ ආකාශචාරී ව සිට පිරිහී ගිය ස්වභාවය ඇතියේ කාලානුරූප ව පොළොවැ, පිවිසියේ ය.
1205. එහෙයින් ප්රාඥයෝ ඡන්දාදියෙන් අගතිගාමී වීම නො පසසත්. දූෂිත නොවූ සිතැත්තේ සාධූන් විසින් පසස්නා ලද සත්ය වවන ම කියන්නේ ය.
6. චේතිය ජාතක යි.
1206. නාරදයෙනි, යමෙක් කාමාශායෙන් ඉඳුරන්ගේ වශයට යේ ද, හෙ තෙම, (දෙව්මිනිස්) දෙලොව හැරපියා (නිරයේ උපදී). ජීවත් වන්නේ නමුදු ඉච්ඡාවිඝාතය නිසා ශෝකයෙන් වියළේ.
1207. පංචකාම සම්පත්තියට අනතුරු වැ නිරාදුකට ද සිල් රැකීම් ආදි විසින් විඳුනා දුකට අනතුරු වැ සැපතට ද පැමිණේ. හේ (නාරදර්ෂි) තෙමේ ද සැපත නසා දුකට පැමිණියේ ය. (එබැවින්) ධ්යාන සැපත කැමැති වන්නේ මැනැවි.
1208. යමෙක් දුක් පැමිණි කලැ දුක් ඉවසා ද දුක මඩින්නේ ද, ඒ ප්රාඥයා දුක අවසානයෙහි ලැබෙන සැපය වන ධ්යාන සැපත මැනැවින් ලබයි.
1209. අභිවෘද්ධියට කරුණු නො වන බැවින් ද අර්ත්ථකර නො වන බැවින් ද කාමයනට ආසා නො කටයුතු ය. උපදවන ලද ධ්යානය නසා කුසල ධර්මයෙන් ගිලිහෙන්නට සුදුසු නො වේ.