ජාතකපාළි
(ප්‍රථම භාගය)
ඒ භගවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. එකක නිපාතය
1. අපණ්ණක වර්‍ගය
1. බෝධිසත්ත්‍වාදි නුවණැති සමහර කෙනෙක් අවිරුද්ධ වූ කාරණය (අපණ්ණක ප්‍රතිපදාව=නිසි මඟ) ගත්හ. (තම තමන්ගේ උත්ප්‍රේක්‍ෂායෙන් කල්පනා කරන) තාර්කිකයෝ සපරාධ වූ දෙවැනි කාරණය (නො මග) ගත්හ. ප්‍රශස්ත බුද්ධි ඇත්තේ මේ මඟ නො මඟ දැනැගෙනැ නිසි මඟ මැ ගන්නේ යැ.
1. අපණ්ණක ජාතකය.
2. පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති උත්තමයෝ අඞ්ගණ සඞ්ඛ්‍යාත අනාවර්‍තක භූමිප්‍රදේශ ඇති වැලිමඟෙහි බිම සරන්නාහු ඒ වලුකාමාර්‍ගයෙහි ජලය ලදහ. එපරිද්දෙන් වීර්‍ය්‍යයෙනුදු කායබල ඥානබලයෙනුදු යුක්ත වූ වීර්‍ය්‍යවත් තපස්වී තෙමේ සිතට හා හෘදයට ද ශීතභාව කරණයෙන් ශාන්ති නම් වූ (ධ්‍යානවිදර්‍ශනාඅභිඥා අර්‍හන්මාර්‍ගය සඞ්කඛ්‍යාත) ආර්‍ය්‍යධර්‍මය ලබන්නේ යැ.
2. වණ්ණුපථ ජාතකය.
3. මේ ශාසනයෙහි සද්ධර්‍මයට ප්‍රතිනියත වූ ඒ ශ්‍රෝත ආපත්ති මාර්‍ගය යම් හෙයකින් (වීර්‍ය්‍ය නොවැඩීම නිසා) වැරැදවූයෙහි නම් තෝ බොහෝ කාලයක් තැවෙන්නේහි ය. සේරිවා නම් වෙළෙන්දා (ලක්‍ෂයක් අගනා) ස්වර්‍ණ පාත්‍රය නො ලැබීමෙන් යම්සේ තැවුණේ ද එලෙසිනි.
3. සේරිවාවාණිජ ජාතකය.
4. වෙළෙඳාමෙහි දක්‍ෂ වූ නුවණැත්තේ ස්වල්ප වූ බඩු මිලයෙන් (මහත් ධනය ද යශස ද උපදවා) තමන් (උසස් තැනැ) පිහිටුවයි. ඒ කෙසේ ද යත්: මුඛ වාතයෙන් පිඹ දල්වා ගන්නා වූ මඳවූ ගින්නක් මෙනි.
4. චුල්ලසෙට්ඨි ජාතකය.
5. රජතුමනි, (පන්සියයක්) අසුන්ගේ මිල සඳහා වූ සහල් නැළිය කුමක් අගනේ දැ යි කිව මැනැවැ යි. අස් වෙළෙඳ තෙමේ රජහට කීයේ ය. නැවත රජු විසින් විමසනු ලැබූ බඩු මිල කරන්නා මේ සහල් නැළිය අගනුවරත් ගම නියම් ගමුත් සහිත බරණැස් රාජ්‍යය ම අගනේයැ යි කී ය.
5. තණ්ඩුලනාළි ජාතකය.
6. (දුසිරිතෙහි පිළිකුල ඇති කරන) හිරියෙන් ද (දුසිරිතෙහි) බියෙන් ද සම්පූර්‍ණ වූ, කුශල ධර්‍මයන්ගෙන් සමන්‍විත වූ ශාන්ත වූ සත්පුරුෂයෝ සත්ත්‍ව ලෝකයෙහි දේවධර්‍ම ඇත්තෝ ය යි කියනු ලැබෙත්.
6. දේවධර්‍ම ජාතකය.
7. මහරජ, මම ඔබගේ (අත්‍රජ) පුත්‍රයෙමි. ජනප්‍රධානය මා පෝෂණය කර. රජතෙමේ සේවක මිනිසුන් හා තිරිසනුන්ද යන අන්‍යයන් පෝෂණය කෙරෙයි. ස්වකීය ප්‍රජාව වූ මා කුමක් නිසා පෝෂණය නො කරන්නේ ද?
7. කට්ඨහාරි ජාතකය.
8. නුවණැත්තන්ගේ අවවාදයෙහි පිහිටා, ඉක්මන් නොවී උපාය ක්‍රමයෙන් කර්‍මාන්තයෙහි යෙදෙනවුන්හට ප්‍රාර්‍ත්‍ථනා කළ ප්‍රයෝජනයෙහි ආශාව නොහොත් බලාපොරොත්තු වූ ඵලය සමෘද්ධ වේ ම ය. (සතර සඞ්ග්‍රහ වස්තු මූලක යශඃ සම්පත්තීන් මුහුකරවා සිටි බැවින්) පරිපක්ව බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තෙම් වෙමි. ගාමණිය, (ඔබ උසස් බවට පැමිණි සැටි) මෙසේ දනුව.
8. ගාමණීචණ්ඩ ජාතකය.
9. මාගේ උත්තමාඞ්ගයෙහි (හිසෙහි) හටගත්තා වූ වයස හැර ගන්නා වූ මේ නර (පැසුණු) කෙස්හු උපන්හ. මරණයට ළඟ බව කියන නරකෙස් නම් වූ දේවදූතයෝ පහළ වූහ. දැන් මාගේ පැවිද්දට කාල යැ යි.
9. මඛාදේව ජාතකය.
10. සෙසු බොහෝ පුද්ගලයෝ යමකු රක්‍ෂා නො කෙරෙත් ද මහරජ ඒ පුද්ගල තෙමේ (වස්තුකාම ක්ලේශකාමයන්හි) අපේක්‍ෂා නැත්තේ ඒකාන්තයෙන් ම කායවිවේක චිත්තවිවේක සැපයෙන් වාස කෙරෙයි.
10. සුඛවිහාරි ජාතකය.
පළමු වන අපණ්ණක වර්‍ග යි.
එහි උද්දාන:
උතුම් අපණ්ණක-වණ්ණුපථ-උතුම් සේරිවා (වාණිජ) සුවිචක්ඛණ (චුල්ලසෙට්ඨි) තණ්ඩුලනාළි-හිරි (දේවධර්‍ම) පුත්ත (කට්ඨහාරි) වරුත්ත (මඛාදේව) ගාමණී යොච නරක්ඛති (සුඛවිහාරී) යන්න හා දස ජතකයෝ ය.