1114. සුචරිත ධර්මය ප්රිය කරන ‘යුධිෂ්ඨීර’ රජු විධුර පඬි තුමා අතින් විචාළේ ය. බමුණ, එකලා ව වසන කවරෙක් බොහෝ කොට ශෝක කෙරේ දැ යි කිම දන්නෙහි ද?
1115. එළු රැළ හා සමග බොහෝ දර ඇති ව වනයෙහි වෙසෙන ‘වාසෙට්ඨ’ බමුණු දවරැයෙහි අනලස් වැ මදුරු උවදුරු නැති කරන්නට ගිනි දල්වා දුම් ඇති කෙළේ ය.
1116. මැසිමදුරුවන්ගෙන් පෙළුණු සරභ මෘගයෝ ඒ දුම් ගඳින් දුම හටගන්වන ඒ බමුණා සමීපයෙහි වැසිකල විසීමට පැමිණියහ.
1117. සරභ මුවන් කෙරෙහි ස්නේහය උපදවාගත් ඒ බමුණු වනයෙන් පෙරළා එන්නාවූ හෝ ගොවුදෙන් වනයට යන්නාවූ හෝ එළුවන් නො දනී. එහෙයින් ඔහුගේ ඒ එළුවෝ නැසුණහ.
1118. වනයෙහි මදුරුවන් ප්රහීණ ව ගිය සරත් කාලයෙහි සරභමුවෝ ගඞ්ගා හටගන්නා ගිරිදුර්ගවලට පිවිසියහ.
1119. සරභමුවන් වල් වැදුණු බව ද එළුවන් මළ බව ද දැකැ බමුණු කෘශ වූ දුර්වර්ණ වූ පාණ්ඩුරෝගියෙක් විය.
1120. යමෙක් මෙලෙස ස්වකීයයන් බැහැර කොට අමුත්තන් ප්රිය කෙරේ ද හෙතෙම ධූමකාරී බමුණා මෙන් එකලා ව බොහෝ දුක් ඇතියෙක.
8. ධූමකාරි ජාතක යි.
1121. මෙලොව කවරෙක් නිදිවර්ජිතයන් අතුරෙහි සයනය කෙළේ ද? සයනය කළවුන් අතුරෙහි කවරෙක් නිදිවර්ජිත ද? මාගේ තෙල ප්රශ්නය දනී ද? කවරෙක් මේ ප්රශ්නය විසඳන්නට සමත් වේ ද?
1122. නිදි වර්ජිතයන් අතුරෙහි මම නිදන්නෙමි, සයනය කරන්නන් අතරෙහි මම නිදි වර්ජනය කරමි. මේ ප්රශ්නය මම දනිමි, තොප විසින් පහදන්නට මම පොහොසත්මි.
1123. නිදි වර්ජිතයන් අතුරෙහි කෙසේ නිදාගත්තේ ද? නිදන්නවුන් අතුරෙහි නිදි දුරු කළේ කෙසේ ද? මේ ප්රශ්නය කෙසේ දනිහි ද? මා ඇසූ ප්රශ්නයට පිළිතුරු දෙන්නට කෙසේ සමත් වෙහි ද?
1124. දේවතාවෙනි, සිල්වත් වීම ඉන්ද්රිය දමනය යන ගුණ ධර්මයන් යම් කෙනෙක් නො දනිත් ද, ඔවුහු කෙලෙස් නින්දෙන් නිදද්දී මම අප්රමාද ගුණයෙහි පිහිටා නො නිදා සිටිමි.
1125. දේවතාවෙනි, යම් රහතුන් වහන්සේ කෙනකුන්ගේ රාගදෝසමෝහයෝ නැසුණාහු ද ඒ ආර්ය්යයන් නො නිදන කලැ මම නිදාගත්තෙමි.
1126. නිදි දුරුකරන්නවුන් අතුරෙහි මම මෙසේ නිදමි, නිදන්නවුන් අතුරෙහි මම මෙසේ නිදි වර්ජනය කරමි. මෙසේ මේ ප්රශ්නය දනිමි. ඔබට මෙසේ ප්රකාශ කරන්නට සමත් වෙමි.
1127. මනාලෙස නො නිදන්නවුන් අතුරෙහි සයනය කෙළෙහි, මනාලෙස නිදන්නවුන් අතුරෙහි නො නිදන්නෙහි, මනාසේ ප්රශ්නය දත්තෙහි, මා ඇසූ ප්රශ්නය මනාලෙස විසඳන්නට සමත් වෙහි යි.
9. ජාගර ජාතක යි.