1121. මෙලොව කවරෙක් නිදිවර්ජිතයන් අතුරෙහි සයනය කෙළේ ද? සයනය කළවුන් අතුරෙහි කවරෙක් නිදිවර්ජිත ද? මාගේ තෙල ප්රශ්නය දනී ද? කවරෙක් මේ ප්රශ්නය විසඳන්නට සමත් වේ ද?
1122. නිදි වර්ජිතයන් අතුරෙහි මම නිදන්නෙමි, සයනය කරන්නන් අතරෙහි මම නිදි වර්ජනය කරමි. මේ ප්රශ්නය මම දනිමි, තොප විසින් පහදන්නට මම පොහොසත්මි.
1123. නිදි වර්ජිතයන් අතුරෙහි කෙසේ නිදාගත්තේ ද? නිදන්නවුන් අතුරෙහි නිදි දුරු කළේ කෙසේ ද? මේ ප්රශ්නය කෙසේ දනිහි ද? මා ඇසූ ප්රශ්නයට පිළිතුරු දෙන්නට කෙසේ සමත් වෙහි ද?
1124. දේවතාවෙනි, සිල්වත් වීම ඉන්ද්රිය දමනය යන ගුණ ධර්මයන් යම් කෙනෙක් නො දනිත් ද, ඔවුහු කෙලෙස් නින්දෙන් නිදද්දී මම අප්රමාද ගුණයෙහි පිහිටා නො නිදා සිටිමි.
1125. දේවතාවෙනි, යම් රහතුන් වහන්සේ කෙනකුන්ගේ රාගදෝසමෝහයෝ නැසුණාහු ද ඒ ආර්ය්යයන් නො නිදන කලැ මම නිදාගත්තෙමි.
1126. නිදි දුරුකරන්නවුන් අතුරෙහි මම මෙසේ නිදමි, නිදන්නවුන් අතුරෙහි මම මෙසේ නිදි වර්ජනය කරමි. මෙසේ මේ ප්රශ්නය දනිමි. ඔබට මෙසේ ප්රකාශ කරන්නට සමත් වෙමි.
1127. මනාලෙස නො නිදන්නවුන් අතුරෙහි සයනය කෙළෙහි, මනාලෙස නිදන්නවුන් අතුරෙහි නො නිදන්නෙහි, මනාසේ ප්රශ්නය දත්තෙහි, මා ඇසූ ප්රශ්නය මනාලෙස විසඳන්නට සමත් වෙහි යි.
9. ජාගර ජාතක යි.
1128. අලාමක වූ ප්රත්යෙකබෝධිඥාන ඇති පසේබුදුවරයන් කෙරෙහි කළ වැඳුම් පිදුම් ආදි පරිචර්ය්යාවන්ගේ ආනිසංසය ස්වල්ප නො වේ. තෙල්, පැණි රහිත කොමුපිඬු දානයෙහි විපාක බල.
1129. ඇත් අස් ගවයෝ ද ධනධාන්යයෝ ද සියලු මහ පොළොව ද, දෙවඟනන් වැනි සුන්දර රූපිකාවෝ ද මට බොහෝ වෙති. කොමුපිඬු දානයෙහි විපාක බල.
1130. කුශලාධ්යශය ඇති රාජශ්රේෂ්ඨය, නිරතුරු ගාථා කියන්නෙහි ය රාජ්යය දියුණු කරන උතුමාණෙනි, ඔබ විචාරමි. ප්රමුදිත ව මෙහි අරුත් කියනු මැන.
1131. මේ නගරයේ ම එක්තරා කුලයෙක උපන්මි. අනුන්ට බැලමෙහෙකම් කොට දිවි රක්නෙම් පිරිසුදු පන්සිල් ඇති වීමි.
1132. කර්මාන්ත සඳහා යන මම ආචාරයෙන් හා ශීලයෙන් සම්පූර්ණ වූ පාප රහිත හෙයින් සිහිල් වූ ආස්රව රහිත වූ ශ්රමණයන් වහන්සේ සතර නමක් දිටිමි.
1133. උන්වහන්සේ කෙරෙහි සිත පහදවා කොළ ඇතිරියෙහි වඩාහිඳුවා පහන් සිතැති ව පසේබුදුවරුන්හට සියතින් කොමුපිඬු පිළිගැන්වූයෙමි.
1134. මාගේ පුණ්යකර්මයේ විපාකඵලය මෙබඳු ය. හැම සම්පත්තියෙන් ආඪ්ය වූ උතුම් පොළොව සහිත රාජසම්පත විඳිමි.
1135. කෝසලාධිපය, දන් දී වළඳනු මැනැවි. දානාදි පුණ්ය ක්රියාහි නොසැලැකිලි නොවන්නේ මැනැවි. චතුශ්චක්රක සම්පත් සපුරාලනු මැනවි. රජතුමනි, අධාර්මිකයකු නොවනු මැනැවි. දහම් රකින්නේ මැනැවි.
1136. ඒ මම බුද්ධාදි ආර්ය්යයන් නැවැතැ නැවැතැ පුරුදු කළ මඟෙහි ම හැසිරෙන්නෙමි, රහතුන් වහන්සේ දකින්නට මට රිසි ඇත.