1016. ඉවුර ළඟ හැසිරෙන මිතුර තොපට යහපතක් වේවා! මා වෙත දුව එන්න, මා විසින් මහත් වූ මසෙක් ගන්නා ලද, ඒ මාළුවා මා ඉක්මනින් දියට ගෙන යයි.
1017. ගැඹුරෙහි හැසිරෙනුව, තොපට යහපතක් වේවා! දැඩිව ගනුව, ගුරුළෙක් සර්පයෙකු සෙයින් මම තා දියෙන් නඟා ගන්නෙමි.
1018. දබ්බපුප්ඵය, (කුසතණමල් පැහැය ඇති සිවලා) මා කියන්නක් අසන්න. අපගේ විවාදයෙක් උපන, යහළුව කලහය සන්හිඳුවනු මැන, විවාදය සන්හිඳේවා.
1019. මම පෙරැ ධර්මයෙහි සිටියෙමි. මා විසින් බොහෝ අර්ත්ථ නිශ්චය කරන ලද. යහළුව, කලහය සන්හිඳුවමි, තොප දෙදෙනාගේ විවාදය සන්හිඳේවා.
1020. ඉවුරෙහි හැසිරෙන්නාට නඟුට හිමි වේ. ගැඹුරෙහි හැසිරෙන්නාට හිස හිමිවේ. මේ මැද කොටස නඩුව විසඳු මට හිමි ය.
1021. ඉදින් විවාද නො කළමෝ නම් දවස් කීපයකට ප්රමාණවත් මාළු ලැබෙන්නේ ය. හිස සහ නඟුට නැති රෝහිත මාළුවා හිවල් තෙමේ ගෙන යයි.
1022. ක්ෂත්රිය රජෙක් රාජ්යයක් ලැබැ සතුටු වන්නේ යම් සේ ද එසේ අද මම (සතුටෙන්) පිරුණු මුහුණ ඇති ස්වාමියා දැක සතුටු වෙමි.
1023. ගොඩ සිට දියේ ගැවසෙන මාළුවා අල්ලා ගත්තේ කෙසේ ද, මිතුර විචාරන ලද මට එය කියන්න. තොප විසින් එය ලැබූයේ කෙසේ ද?
1024. මායාකාරිය, විවාදයෙන් කෘෂ වෙති. විවාදයෙන් ධනය නැසේ. විවාදය නිසා මස්කාවෝ පිරිහුනාහ. රේමසා බුදින්න.
1025. එසේ මිනිසුන් අතරේ යම් තැනක විවාදය හටගනී ද විනිසකරුවන් සමීපයට යති. හේ ඔවුන්ගේ විවාදය සන්හිඳුවන්නා වෙයි. ඒ නිසා ධනය පිරිහේ. රාජ කෝෂ්ටාගාරය තර වේ.
5. දබ්භපුප්ඵ ජාතක යි.
1026. මේ පුරුෂ (ධනලෝභයෙන්) පිරිස්මැද හිඳ දසාර්ණක දේශයෙහි ජාත වූ පිරිපුන් වැ ලේ බොන තියුණු මුවහත් ඇති කඩුව ගිලී. මීට වඩා දුෂ්කර වූ අන් කරුණෙක් ඇද්ද? විචාරන ලද මට කියන්න.
1027. මගධාධිපතිතුමනි, පුරුෂයෙක් වස්තුලෝභයෙන් පිරිපුන් වැ ලේ බොන කඩුව ගිලින්නේ ය. යමෙක් දෙමි යි කියන්නේ නම් එය ඊට වඩා අතිශයින් දුෂ්කර වෙයි. මෙයින් අන් සියලු කරුණු කරන්නට පහසු වේ යයි මෙසේ දත මැනව.
1028. ඒ අර්ත්ථද්යොතක ශාස්ත්රයෙහි නිපුණ වූ ආයුර තෙම ප්රශ්නයාගේ අර්ත්ථය ප්රකාශ කෙළේ ය. (ප්රශ්නයට පිළිතුර දුන්නේ ය.) දැන් පුක්කුසයන් පුළුවුස්මි. ඒ ‘දෙමි’ යන වචනයට වඩා ඉතා දුෂ්කර කාරණය කුමක් ද? යම් අනෙක් දුෂ්කර කරුණක් ඇද්ද? විචාරන මට කියව.
1029. මගධාධිපතිතුමනි, කියන ලද නිෂ්ඵල වචනය නිසා කිසිකෙනෙක් ජීවත් නො වෙති. යමෙක් යමක් දෙමි යි පිළින කොට ඒ පරිදි එය දී එහි ලෝභය දුරු කෙරේ ද, එය කඩුව ගිලිනුවාට වඩා කරන්නට දුෂ්කර ය. අනෙක් හැම දේ කරන්නට පහසු බව දනු මැනැව.
1030. අරුත් විසඳන ග්රන්ථ සංඛ්යාත ශාස්ත්රයෙහි නිපුණ පුක්කුස තෙම ප්රශ්නයට පිළිතුර එලි කෙළේ ය. දැන් සේනකයන් විචාරමි. එයට වඩා දුෂ්කර කාර්ය්යය කුමක් ද? යම් අනෙක් දුෂ්කර කාර්ය්යයක් තිබේ ද? විචාරන මට කියව.
1031. මගධේශ්වරය, යම් පුරුෂයෙක් ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ දනක් දෙන්නේ ද, දීමෙන් පසු නො තැවෙන්නේ ද එය ඊට වඩා දුෂ්කර ය. අනෙක් හැම කරුණ කරන්නට පහසු බව දනුව.
1032. ආයුරත් පුක්කුස පුරුෂයාත් ප්රශ්න විසඳාලූහ. සේනක තෙමේ යම් පරිදි විසඳන ලද ද එය සියලු පැනවිසඳුම් ඉක්මවා සිටී. හෙවත් හැම විසඳුමකට වඩා එය උතුමි.
6. දසණ්ණක ජාතක යි.
1033. බ්රාහ්මණය, චංචල සිත් ඇත්තෙහි ඇලළීගිය චක්ෂුරින්ද්රිය ඇත්තෙහි නෙතින් කඳුළුබිඳු වැගිරෙයි. තොපගේ කුමක් නටුයේ වී ද කුමක් ප්රාර්ත්ථනා කරන්නෙහි මෙහි ආයෙහි දැ යි. එබැවින් එ කරුණ කියව.