1026. මේ පුරුෂ (ධනලෝභයෙන්) පිරිස්මැද හිඳ දසාර්‍ණක දේශයෙහි ජාත වූ පිරිපුන් වැ ලේ බොන තියුණු මුවහත් ඇති කඩුව ගිලී. මීට වඩා දුෂ්කර වූ අන් කරුණෙක් ඇද්ද? විචාරන ලද මට කියන්න.
1027. මගධාධිපතිතුමනි, පුරුෂයෙක් වස්තුලෝභයෙන් පිරිපුන් වැ ලේ බොන කඩුව ගිලින්නේ ය. යමෙක් දෙමි යි කියන්නේ නම් එය ඊට වඩා අතිශයින් දුෂ්කර වෙයි. මෙයින් අන් සියලු කරුණු කරන්නට පහසු වේ යයි මෙසේ දත මැනව.
1028. ඒ අර්‍ත්‍ථද්‍යොතක ශාස්ත්‍රයෙහි නිපුණ වූ ආයුර තෙම ප්‍රශ්නයාගේ අර්‍ත්‍ථය ප්‍රකාශ කෙළේ ය. (ප්‍රශ්නයට පිළිතුර දුන්නේ ය.) දැන් පුක්කුසයන් පුළුවුස්මි. ඒ ‘දෙමි’ යන වචනයට වඩා ඉතා දුෂ්කර කාරණය කුමක් ද? යම් අනෙක් දුෂ්කර කරුණක් ඇද්ද? විචාරන මට කියව.
1029. මගධාධිපතිතුමනි, කියන ලද නිෂ්ඵල වචනය නිසා කිසිකෙනෙක් ජීවත් නො වෙති. යමෙක් යමක් දෙමි යි පිළින කොට ඒ පරිදි එය දී එහි ලෝභය දුරු කෙරේ ද, එය කඩුව ගිලිනුවාට වඩා කරන්නට දුෂ්කර ය. අනෙක් හැම දේ කරන්නට පහසු බව දනු මැනැව.
1030. අරුත් විසඳන ග්‍රන්‍ථ සංඛ්‍යාත ශාස්ත්‍රයෙහි නිපුණ පුක්කුස තෙම ප්‍රශ්නයට පිළිතුර එලි කෙළේ ය. දැන් සේනකයන් විචාරමි. එයට වඩා දුෂ්කර කාර්‍ය්‍යය කුමක් ද? යම් අනෙක් දුෂ්කර කාර්‍ය්‍යයක් තිබේ ද? විචාරන මට කියව.
1031. මගධේශ්වරය, යම් පුරුෂයෙක් ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ දනක් දෙන්නේ ද, දීමෙන් පසු නො තැවෙන්නේ ද එය ඊට වඩා දුෂ්කර ය. අනෙක් හැම කරුණ කරන්නට පහසු බව දනුව.
1032. ආයුරත් පුක්කුස පුරුෂයාත් ප්‍රශ්න විසඳාලූහ. සේනක තෙමේ යම් පරිදි විසඳන ලද ද එය සියලු පැනවිසඳුම් ඉක්මවා සිටී. හෙවත් හැම විසඳුමකට වඩා එය උතුමි.
6. දසණ්ණක ජාතක යි.
1033. බ්‍රාහ්මණය, චංචල සිත් ඇත්තෙහි ඇලළීගිය චක්‍ෂුරින්‍ද්‍රිය ඇත්තෙහි නෙතින් කඳුළුබිඳු වැගිරෙයි. තොපගේ කුමක් නටුයේ වී ද කුමක් ප්‍රාර්‍ත්‍ථනා කරන්නෙහි මෙහි ආයෙහි දැ යි. එබැවින් එ කරුණ කියව.
1034. සේනක පඬිතුමනි, අද ගෙට යන මාගේ බිරිඳ මියෙයි ල, ගෙට නොයන මට (අතරමග) මරණයයි යකෙක් (දෙවියෙක්) කී ය. මේ දුකින් වෙවුළමි. සේනකයෙනි, මෙ කරුණ මට කියව.
1035. බමුණ, බොහෝ වූ මරණ කරුණු සිතා අවබෝධ කොට ගෙන මෙහි යමක් කියම් ද එ මැ සත්‍ය යැ. තොපගේ අත්සුණු පසුම්බියට තොප නොදන්නා පරිද්දෙන් කළුනයෙක් පිවිසියේ යැ යි සිතමි.
1036. දණ්ඩක් ගෙන පසුම්බියට ගසව. මුවින් කෙළ වැගිරෙන දිව් දෙකක් ඇති සර්‍පයා (පසුම්බියෙන් නික්මෙන්නා) බලව. අද තොපගේ සැකය විචිකිච්ඡාව සිඳුව. සර්‍පයා බලව. පසුම්බිය මුදව.
1037. තැතිගත් ස්වභාවයෙන් සිටි ඒ බමුණු තෙමේ පිරිස මැද අත්සුණු පසුම්බිය මිදුයේ ය. එකල උග්‍රතේජස් ඇති වහා පැතිරෙන විෂ ඇති සර්‍පයා පෙණය දක්වා පසුම්බියෙන් නික්මිණ. යමෙක් මනා නුවණැති සේනක පඬිතුමා නිතර දක්නේ ද ජනක රජතුමා ලද උසස් ලාභයෝ යි.
1038. බ්‍රාහ්මණයෙනි, කිම? තෙපි විවෘත ඥේයධර්‍ම ඇති සර්‍වඥ බුද්ධ වවු ද? (අසර්‍වඥ වූ මැ) තොපගේ ඥානය (සර්‍වඥතාඥානය මෙන්) බලවත් වෙයි. යම් හෙයෙකින් අද තොප විසින් දෙන ලද ජීවිතය මා විසින් ලබන ලද යැ. තව ද මාගේ අඹුවට ද සෙතක් කෙළේ ද. එහෙයින් මේ මා සතු කහවණු සත්සියයක් ඇත. එ හැම තොපට දෙමි. එය ගනු මැනැවි.
1039. සුභාෂිත වූ චිත්‍රගාථාවන් කරණකොට ගෙන පඬිවරු කුලී නො ගනිති. බ්‍රාහ්මණය, තොපට මෙයිනුදු (මාගේ පාමුල් පෙට්ටියෙනු) දු (කහවණු තුන්සියක්) ධනය දෙත්වා. එය ගෙන සිය නිවෙසට යව.
7. සත්තුභස්ත ජාතක යි.
1040. ආර්‍ය්‍ය අස්ථිසේනයෙනි, යම් යාචක කෙනකුන් මම නො හඳුනම් ද ඔහු පවා මා කරා පැමිණ ඉල්වති. තෙපි කුමක් හෙයින් නො ඉල්වවු ද?
1041. යාචක තෙම අප්‍රිය වෙයි යාච්ඤා කළ දැය නො දෙන්නෙ ද වෙයි. එහෙයින් මම තොප අතින් නො ඉල්වමි. (ඉල්වූ කල තොපට ද ඉල්වූ දැය නො දෙන කල අපට ද උපදනා) ද්වේෂය නො වේවා.