1009. පාශයෙන් බැඳුණු මම් නීලිය නම් වැද්දාගේ වසයට ගියෙම් වෙමි. පර්‍වත කුහරයෙහි වෙසෙන මහලු වූ ඒ මගේ මවුපියෝ කුමක් කරන්නාහු දෝ හෝ.
1010. ගිජුළිහිණිය, කුමක් හෙයින් වැලැපෙහි ද? තාගේ හැඬීම කවර? මිනිස් බසින් කථා කරන පක්‍ෂියෙක් මා විසින් අසන ලද්දේ හෝ දක්නා ලද්දේ හෝ නැති.
1011. මහලු වූ ගිරිකුහරයෙහි වෙසෙන මවුපිය දෙදෙන පෝෂණය කෙරෙමි. මම තොපගේ වසයට ගියෙමි. ඒ මවුපියෝ කුමක් කෙරෙද්ද (හෙවත් ජීවත් වන්නේ කෙසේ ද?)
1012. ගිජුළිහිණියා යොදුන් සියයෙකින් ඔබ්බෙහි තුබූ කුණපයන් ඉවෙන් දැනගන්නට සමත් යයි කියනු ලැබේ. දැල හා පාශය සමීපයට පැමිණ ද කුමක් හෙයින් (බැඳෙන බව) නො දත්තේ ද?
1013. යම් කලෙකැ විනාශය වේ ද එකල පුරුෂ ජීවිත විනාශය ඇති කල්හි දැලට ද පාශයට ද ළංවුවත් බැඳෙන බව නො දනී.
1014. පර්‍වතගුහාවෙහි වෙසෙන මහලු මවුපියන් පෝෂණය කරව. මා විසින් අනුදන්නා ලද තෝ සුවසේ ගොස් නෑයන් බලව.
1015. වැද්දාණෙනි, පර්‍වතගුහාවෙහි වෙසෙන මහලු මවුපියන් (යම්සේ) පෝෂණය කෙරෙම් ද, එසේ සියලු නෑයන් සමග තෙපි බොහෝ කල් සතුටු වව!
4. ගිජ්ඣ ජාතක යි.
1016. ඉවුර ළඟ හැසිරෙන මිතුර තොපට යහපතක් වේවා! මා වෙත දුව එන්න, මා විසින් මහත් වූ මසෙක් ගන්නා ලද, ඒ මාළුවා මා ඉක්මනින් දියට ගෙන යයි.
1017. ගැඹුරෙහි හැසිරෙනුව, තොපට යහපතක් වේවා! දැඩිව ගනුව, ගුරුළෙක් සර්‍පයෙකු සෙයින් මම තා දියෙන් නඟා ගන්නෙමි.
1018. දබ්බපුප්ඵය, (කුසතණමල් පැහැය ඇති සිවලා) මා කියන්නක් අසන්න. අපගේ විවාදයෙක් උපන, යහළුව කලහය සන්හිඳුවනු මැන, විවාදය සන්හිඳේවා.
1019. මම පෙරැ ධර්‍මයෙහි සිටියෙමි. මා විසින් බොහෝ අර්‍ත්‍ථ නිශ්චය කරන ලද. යහළුව, කලහය සන්හිඳුවමි, තොප දෙදෙනාගේ විවාදය සන්හිඳේවා.
1020. ඉවුරෙහි හැසිරෙන්නාට නඟුට හිමි වේ. ගැඹුරෙහි හැසිරෙන්නාට හිස හිමිවේ. මේ මැද කොටස නඩුව විසඳු මට හිමි ය.
1021. ඉදින් විවාද නො කළමෝ නම් දවස් කීපයකට ප්‍රමාණවත් මාළු ලැබෙන්නේ ය. හිස සහ නඟුට නැති රෝහිත මාළුවා හිවල් තෙමේ ගෙන යයි.
1022. ක්‍ෂත්‍රිය රජෙක් රාජ්‍යයක් ලැබැ සතුටු වන්නේ යම් සේ ද එසේ අද මම (සතුටෙන්) පිරුණු මුහුණ ඇති ස්වාමියා දැක සතුටු වෙමි.
1023. ගොඩ සිට දියේ ගැවසෙන මාළුවා අල්ලා ගත්තේ කෙසේ ද, මිතුර විචාරන ලද මට එය කියන්න. තොප විසින් එය ලැබූයේ කෙසේ ද?
1024. මායාකාරිය, විවාදයෙන් කෘෂ වෙති. විවාදයෙන් ධනය නැසේ. විවාදය නිසා මස්කාවෝ පිරිහුනාහ. රේමසා බුදින්න.
1025. එසේ මිනිසුන් අතරේ යම් තැනක විවාදය හටගනී ද විනිසකරුවන් සමීපයට යති. හේ ඔවුන්ගේ විවාදය සන්හිඳුවන්නා වෙයි. ඒ නිසා ධනය පිරිහේ. රාජ කෝෂ්ටාගාරය තර වේ.
5. දබ්භපුප්ඵ ජාතක යි.