1002. මඛාදේව නමැති නුගයෙහි වෙසෙන දෙවිය, රජතුමා පවිත්ර මස්රසයෙන් යුතු බත එවී ය. මෑතට අවුත් වළඳනු මැනැවි.
1003. මාණවකය, මස්රස සහිත ආහාරය ගෙන ඔබින් මෙහි එව මාණවකය, තො ද (තා ගෙනා) බත ද මට ගොදුර වන්නවු ය.
1004. යක්ෂය, මරණබිය ඇති ජනයෝ තට ආහාරය නො ගෙනෙති. එහෙයින් තෝ මද දැයෙකින් මහත් ප්රයෝජනයක් අත් හරෙනහි ය හෙවත් නො ලබන්නෙහි ය.
1005. යක්ෂය, තට රසයෙන් යුත් පවිත්ර මිහිරි ආහාරය ලැබෙන්නේ ය. මා කෑ කල්හි ආහාරය ගෙනෙන්නකු දැකීම ඉතා දුලබ වෙයි.
1006. මාණවකය සුතනුවෙනි, තෝ යමක් කීයෙහි ද එය මට වැඩ පිණිස වේ. තෝ මා විසින් අනුදන්නා ලද්දෙහි සුවසේ ගොස් මව දකින්නෙහි ය.
1007. මාණවකය, තොපගේ කඩුව ද ඡත්රය ද රන්තලිය ද ගෙන මැ යව. තොපගේ මව සුවසේ දකීවා. තො ද මව බලව.
1008. යක්ෂය, මා විසින් ධනය ලබන ලදී. රජ කී ලෙස කරන ලදී. සියලු නෑයන් සමග තෙපි සුවපත් වෙවයි.
3. සුතනු ජාතක යි.
1009. පාශයෙන් බැඳුණු මම් නීලිය නම් වැද්දාගේ වසයට ගියෙම් වෙමි. පර්වත කුහරයෙහි වෙසෙන මහලු වූ ඒ මගේ මවුපියෝ කුමක් කරන්නාහු දෝ හෝ.
1010. ගිජුළිහිණිය, කුමක් හෙයින් වැලැපෙහි ද? තාගේ හැඬීම කවර? මිනිස් බසින් කථා කරන පක්ෂියෙක් මා විසින් අසන ලද්දේ හෝ දක්නා ලද්දේ හෝ නැති.
1011. මහලු වූ ගිරිකුහරයෙහි වෙසෙන මවුපිය දෙදෙන පෝෂණය කෙරෙමි. මම තොපගේ වසයට ගියෙමි. ඒ මවුපියෝ කුමක් කෙරෙද්ද (හෙවත් ජීවත් වන්නේ කෙසේ ද?)
1012. ගිජුළිහිණියා යොදුන් සියයෙකින් ඔබ්බෙහි තුබූ කුණපයන් ඉවෙන් දැනගන්නට සමත් යයි කියනු ලැබේ. දැල හා පාශය සමීපයට පැමිණ ද කුමක් හෙයින් (බැඳෙන බව) නො දත්තේ ද?
1013. යම් කලෙකැ විනාශය වේ ද එකල පුරුෂ ජීවිත විනාශය ඇති කල්හි දැලට ද පාශයට ද ළංවුවත් බැඳෙන බව නො දනී.
1014. පර්වතගුහාවෙහි වෙසෙන මහලු මවුපියන් පෝෂණය කරව. මා විසින් අනුදන්නා ලද තෝ සුවසේ ගොස් නෑයන් බලව.
1015. වැද්දාණෙනි, පර්වතගුහාවෙහි වෙසෙන මහලු මවුපියන් (යම්සේ) පෝෂණය කෙරෙම් ද, එසේ සියලු නෑයන් සමග තෙපි බොහෝ කල් සතුටු වව!
4. ගිජ්ඣ ජාතක යි.