736. ඝත රජතුමනි, සෙස්සෝ ශෝක කරති, හඬති. සෙසු ජනයා කඳුළු සහිත මුහුණු ඇත්තෝ ය. (තෙපි) පහන්මුහුණ ඇත්තහු ය. කවර හෙයින් ශෝක නො කරන්නහු ද?
737. ධංකය, ශෝකය ගිය දෙය යළි නොගෙනේ නො පැමිණි සැපය ගෙනෙන්නේ නො වේ. එහෙයින් ශෝක නො කරමි. ශෝකයට සහාය නො වෙමි.
738. ශෝක කරන්නා පඬු පැහැය ඇත්තේ වේ, කෘශ වේ. ඔහුට ආහාරය ප්‍රිය නො වේ. ශෝක නැමැති හුලෙන් විදින ලදුව පෙළෙන කල්හි ඔහුගේ සතුරෝ ප්‍රීත වෙති.
739. ගමෙහි හෝ ඉදින් වනයේ හෝ වළ තන්හි හෝ ගොඩ තන්හි හෝ සිටින මා වෙත විපත් නො එන්නේ ය. මම ධ්‍යාන දක්නා ලද්දෙම් වෙමි. නැතහොත් අටලෝදහම දන්නා ලද්දෙම් වෙමි.
740. යමක්හුගේ සියලු සම්පත් රස එළවන එක් මැ ආත්මය තෙම ධ්‍යාන රස එළවන්නට සමත් නො වේ. එහෙයින් මුළු පොළොව ද ඔහුට (කායික චෛතසික) සුඛය නො එළවන්නේ යි.
5. ඝත ජාතක යි.
741. කාරණ්ඩිය, හුදෙකලාව වනයෙහි වසනුයෙහි යුහුසුලු ස්වභාවයක් ඇති ව නැවත නැවතත් කඳුරැළියෙහි ගල් දමන්නෙහි ය. මෙයින් තොපට කවර ප්‍රයෝජනයෙක් ද?
742. මම සයුරෙන් වට වූ මේ මහපොළොව සියලු කඳු හා පර්‍වත විසුරුවා හැර අල්ල මෙන් සම කරන්නෙමි. එහෙයින් කඳුරැළියෙහි ගල් දමන්නෙමි.
743. කාරණ්ඩිය, එක් මිනිසෙක් මේ මහපොළොව අත්ල මෙන් සම කරන්නට නො හැකි වේ යයි සිතමි. තෙපි කඳුරැළිය පිරවීමට යත්න දරන්නහු මැ මේ සත්ත්‍වලෝකය හරනහු යයි (හෙවත් මරණයට පත්වන්නේ ය) සිතමි.
744. බ්‍රාහ්මණය, එක් මනුෂ්‍යයෙක් සතුන් ධරා සිටුනා මේ මහපොළොව සම කරන්නට සමත් නො වේ ද එපරිදි තෙපි ද නානාදෘෂ්ටික වූ මේ මනුෂ්‍යයන් සිල් ගන්නැ යි කියා ඔවා දී තොප වශයට නො පමුණුවන්නහු යි.
745. කාරණ්ඩිය, මිනිසකු විසින් මේ පොළොව සම කරන්නට යම්සේ නො හැකි ද, එසේ මැ සියලු මනුෂ්‍යයෝ ද හික්මවන්නට නො පිළිවන්හ යි භවත් මාගේ ශුභ සිද්ධිය සලකා ස්වල්ප වශයෙන් මට යමක් කීයේ ද එය එසේ ම ය.
6. කාරණ්ඩිය ජාතක යි.