741. කාරණ්ඩිය, හුදෙකලාව වනයෙහි වසනුයෙහි යුහුසුලු ස්වභාවයක් ඇති ව නැවත නැවතත් කඳුරැළියෙහි ගල් දමන්නෙහි ය. මෙයින් තොපට කවර ප්රයෝජනයෙක් ද?
742. මම සයුරෙන් වට වූ මේ මහපොළොව සියලු කඳු හා පර්වත විසුරුවා හැර අල්ල මෙන් සම කරන්නෙමි. එහෙයින් කඳුරැළියෙහි ගල් දමන්නෙමි.
743. කාරණ්ඩිය, එක් මිනිසෙක් මේ මහපොළොව අත්ල මෙන් සම කරන්නට නො හැකි වේ යයි සිතමි. තෙපි කඳුරැළිය පිරවීමට යත්න දරන්නහු මැ මේ සත්ත්වලෝකය හරනහු යයි (හෙවත් මරණයට පත්වන්නේ ය) සිතමි.
744. බ්රාහ්මණය, එක් මනුෂ්යයෙක් සතුන් ධරා සිටුනා මේ මහපොළොව සම කරන්නට සමත් නො වේ ද එපරිදි තෙපි ද නානාදෘෂ්ටික වූ මේ මනුෂ්යයන් සිල් ගන්නැ යි කියා ඔවා දී තොප වශයට නො පමුණුවන්නහු යි.
745. කාරණ්ඩිය, මිනිසකු විසින් මේ පොළොව සම කරන්නට යම්සේ නො හැකි ද, එසේ මැ සියලු මනුෂ්යයෝ ද හික්මවන්නට නො පිළිවන්හ යි භවත් මාගේ ශුභ සිද්ධිය සලකා ස්වල්ප වශයෙන් මට යමක් කීයේ ද එය එසේ ම ය.
6. කාරණ්ඩිය ජාතක යි.
746. හැට අවුරුද්දෙන් බැස යන මද ඇති ඇත් රජුනි, තොප වඳිමි. අරණ්යයෙහි ජාතය, යූථපතිය, පිරිවර ඇතියව මාගේ පියාපතින් තොප වඳිමි. දුබල මාගේ දරුවන් නො නසව.
747. හස්තිරාජයා, තොප වඳිමි. එකලා වැ හැසිරෙනුව ආරණ්යකය, පර්වත හා කඳු සමීපයන්හි ආහාර සොයනුව, පියාපතින් තොප වඳිමි. දුබල මාගේ දරුවන් නො නසව.
748. කැටකිරිල්ල තීගේ දරුවන් මරන්නෙමි. දුබල වූ තෝ මට කුමක් කරන්නෙහි ද? තී බඳු ලක්ෂයක් වුව ද වම් පයින් (පාගා) සුණුවිසුණු කරන්නෙමි.
749. හස්තිරාජයා, හැම තන්හි කාය ශක්තියෙන් ප්රයෝජන නැත. අනුවණයාගේ බලය (පර) හිංසාව පිණිස වෙයි. යමෙක් දුබල මාගේ දරුවන් මැරී ද ඒ තොපට විපතක් කරන්නෙමි.
750. කවුඩා කැටකිරිල්ල මැඩියා හා නිලමැස්සා බලව, මොව්හු හස්ති නාගයා මැරූහ. වෛර ඇතියන්ගේ වෛරයේ තරම බලව. එහෙයින්, කිසි කෙනකුන් කෙරෙහි වෛර නො කරව.
7. ලටුකික ජාතක යි.
751. දේවයන් වහන්ස, මහාප්රතාප රජුට වැරදි කෙළෙම් නමුත් නසන ලද වැඩ ඇත්තේ නමුත් මම් ම ය. මේ ධර්මපාල කුමරුවා මුදවා මාගේ අත් කපන්නේ මැනැවි.
752. දේවයන් වහන්ස, මහාප්රතාප රජුට වැරැදි කෙළෙම් නමුත් නසන ලද වැඩ ඇත්තේ නමුත් මම් ම ය. මේ ධර්මපාල කුමරුවා මුදාවා! මාගේ පා කපව.
753. දේවයන් වහන්ස, මහාප්රතාප රජුට වැරැදි කෙළෙම් නසන ලද වැඩ ඇතියෙම් මම් ම ය. මේ ධර්මපාල කුමරුවා මුදාවා! මාගේ හිස සිඳුව.
754. ඖරස පුත්රයා නො මරව යි රජතුමාට යම් කෙනෙක් නො කියත් ද, (එහෙයින්) මේ රජුට මිතුරෝ ද නෑයෝ ද හිතවත්තු ද ඒකාන්තයෙන් නැත්තාහ යි සිතමි.
755. පුතා නො මරව යි රජතුමාට යම් කෙනෙක් නො කියත් ද (එහෙයින්) මේ රජුට මිතුරෝ නෑයෝ හිතවත්තු ඒකාන්තයෙන් නැත්තාහ යි සිතමි.
756. පොළොවට හිමිකරු වූ ධර්මපාල කුමාරයාගේ සඳුන් කල්ක ගල්වන ලද දෑත කපති. දේවයන් වහන්ස, මාගේ පණ නිරුද්ධ වේ.
8. චුල්ලධම්මපාල ජාතක යි.