726. දිරූ හැව හැර යන සර්පයා මෙන් ජීවිතේන්ද්රිය නැති හෙයින් සිය ශරීරය හැරදා පරලොව ගිය කල්හි,
727. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපීම් නො දනී. එහෙයින් මළා වූ මොහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
728. කැඳවීමක් නැති ව එලොවින්, ආයේ ය. අනුදැනීමක් නැති ව මෙලොවින් ගියේ ය. කැඳවීමක් නැති ව යම්සේ ආයේ ද එසේ අනුදැනීමක් නැති ව ගියේ ය. එහි ලා කවර හැඬීමෙක් ද?
729. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපුම් නො දනී. එහෙයින් මළා වූ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
730. ඉදින් හඬන්නේ නම් කෘශ ශරීර ඇත්තෙකිම් වෙමි. ඒ මට කවර ප්රයෝජනයක් වේ ද? ඤාතිමිත්රහිතවතුන්ට (මා කෙරෙහි) වැඩියක් නො ඇල්ම වන්නේ ය.
731. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපුම් නො දනී. එහෙයින් මළා වූ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
732. අහසේ යන හඳ දැක කුඩා ළමයෙක් එය ඉල්ලා යම්සේ හඬා ද, එසේ යමෙක් මිය පරලොව ගිය පුද්ගලයාට නැවත නැවත ශෝක කෙරේ ද එය ළමයාගේ හැඬීම වැන්න.
733. දවනු ලබන්නේ නෑයන්ගේ හඬාවැලැපුම් නො දනී. එහෙයින් මළා වූ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
734. බිඳුණු වතුරකළය නැවත ගැළපිය නො හැක්කේ යම්සේ ද, යමෙක් මිය ගියහුහට නැවත ශෝක කෙරේ ද එය මෙසේ නිෂ්ඵල තැතකි.
735. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපුම් නො දනී. එහෙයින් මළ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
4. උරග ජාතක යි.
736. ඝත රජතුමනි, සෙස්සෝ ශෝක කරති, හඬති. සෙසු ජනයා කඳුළු සහිත මුහුණු ඇත්තෝ ය. (තෙපි) පහන්මුහුණ ඇත්තහු ය. කවර හෙයින් ශෝක නො කරන්නහු ද?
737. ධංකය, ශෝකය ගිය දෙය යළි නොගෙනේ නො පැමිණි සැපය ගෙනෙන්නේ නො වේ. එහෙයින් ශෝක නො කරමි. ශෝකයට සහාය නො වෙමි.
738. ශෝක කරන්නා පඬු පැහැය ඇත්තේ වේ, කෘශ වේ. ඔහුට ආහාරය ප්රිය නො වේ. ශෝක නැමැති හුලෙන් විදින ලදුව පෙළෙන කල්හි ඔහුගේ සතුරෝ ප්රීත වෙති.
739. ගමෙහි හෝ ඉදින් වනයේ හෝ වළ තන්හි හෝ ගොඩ තන්හි හෝ සිටින මා වෙත විපත් නො එන්නේ ය. මම ධ්යාන දක්නා ලද්දෙම් වෙමි. නැතහොත් අටලෝදහම දන්නා ලද්දෙම් වෙමි.
740. යමක්හුගේ සියලු සම්පත් රස එළවන එක් මැ ආත්මය තෙම ධ්යාන රස එළවන්නට සමත් නො වේ. එහෙයින් මුළු පොළොව ද ඔහුට (කායික චෛතසික) සුඛය නො එළවන්නේ යි.
5. ඝත ජාතක යි.
741. කාරණ්ඩිය, හුදෙකලාව වනයෙහි වසනුයෙහි යුහුසුලු ස්වභාවයක් ඇති ව නැවත නැවතත් කඳුරැළියෙහි ගල් දමන්නෙහි ය. මෙයින් තොපට කවර ප්රයෝජනයෙක් ද?
742. මම සයුරෙන් වට වූ මේ මහපොළොව සියලු කඳු හා පර්වත විසුරුවා හැර අල්ල මෙන් සම කරන්නෙමි. එහෙයින් කඳුරැළියෙහි ගල් දමන්නෙමි.
743. කාරණ්ඩිය, එක් මිනිසෙක් මේ මහපොළොව අත්ල මෙන් සම කරන්නට නො හැකි වේ යයි සිතමි. තෙපි කඳුරැළිය පිරවීමට යත්න දරන්නහු මැ මේ සත්ත්වලෝකය හරනහු යයි (හෙවත් මරණයට පත්වන්නේ ය) සිතමි.
744. බ්රාහ්මණය, එක් මනුෂ්යයෙක් සතුන් ධරා සිටුනා මේ මහපොළොව සම කරන්නට සමත් නො වේ ද එපරිදි තෙපි ද නානාදෘෂ්ටික වූ මේ මනුෂ්යයන් සිල් ගන්නැ යි කියා ඔවා දී තොප වශයට නො පමුණුවන්නහු යි.
745. කාරණ්ඩිය, මිනිසකු විසින් මේ පොළොව සම කරන්නට යම්සේ නො හැකි ද, එසේ මැ සියලු මනුෂ්යයෝ ද හික්මවන්නට නො පිළිවන්හ යි භවත් මාගේ ශුභ සිද්ධිය සලකා ස්වල්ප වශයෙන් මට යමක් කීයේ ද එය එසේ ම ය.
6. කාරණ්ඩිය ජාතක යි.