721. බ්රහ්මදත්තය, නිරුපද්රැත බවත් ආහාරපාන සුලභ වීමත් හැමදා එකසේ නො වේ. මුහුද මැද දී නැව කැඩී ගිය තැනැත්තේ ඉතා දුකට පත්වන්නේ යම්සේ ද එසේ වස්තු විනාශයෙහි දී මුළා වේ.
722. පුරුෂයා යම් ක්රියාවක් කෙරේ ද එහි ඵලය තමා දකී. යහපත කරන්නා යහපත ද අයහපත කරන්නා අයහපත ද දකී. යම් වර්ගයක බීජයක් රෝපණය කෙරේ ද එබඳු ඵලයක් ලබයි.
723. තෝ පව් නො කරව, යම්බඳු පාපයක් කරන ලද්දෙහි නම් එය තා තවා යයි එකල්හි කීයේ ද මෙය පාරාසරිය නමැති ගුරු ඇදුරුතුමාගේ ප්රකාශයයි.
724. පිංගිය බමුණ, සඳුන්කල්ක තවරා සැරසුණු දහස්ගණනක් ක්ෂත්රියයන් යම් ගසක්මුල දී විනාශ කරවීම් ද, පැතුරුණු අතු ඇති ඒ ගස, දුක මා කරා නැවත පැමිණවී.
725. සඳුන්කල්ක ගල්වා ශෝභමාන වූ සාමා ද මඳ සුළඟේ සැලෙන මුරුංගා ගසක්සේ මනස්කාන්ත උබ්බරී බිසව ද නො දැක මිය යන්නෙමි. මරණ දුකට වඩා ඇය නො දැකීමේ දුක ඉතා වැඩි ය.
3. ධොනසාඛ ජාතක යි.
726. දිරූ හැව හැර යන සර්පයා මෙන් ජීවිතේන්ද්රිය නැති හෙයින් සිය ශරීරය හැරදා පරලොව ගිය කල්හි,
727. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපීම් නො දනී. එහෙයින් මළා වූ මොහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
728. කැඳවීමක් නැති ව එලොවින්, ආයේ ය. අනුදැනීමක් නැති ව මෙලොවින් ගියේ ය. කැඳවීමක් නැති ව යම්සේ ආයේ ද එසේ අනුදැනීමක් නැති ව ගියේ ය. එහි ලා කවර හැඬීමෙක් ද?
729. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපුම් නො දනී. එහෙයින් මළා වූ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
730. ඉදින් හඬන්නේ නම් කෘශ ශරීර ඇත්තෙකිම් වෙමි. ඒ මට කවර ප්රයෝජනයක් වේ ද? ඤාතිමිත්රහිතවතුන්ට (මා කෙරෙහි) වැඩියක් නො ඇල්ම වන්නේ ය.
731. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපුම් නො දනී. එහෙයින් මළා වූ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
732. අහසේ යන හඳ දැක කුඩා ළමයෙක් එය ඉල්ලා යම්සේ හඬා ද, එසේ යමෙක් මිය පරලොව ගිය පුද්ගලයාට නැවත නැවත ශෝක කෙරේ ද එය ළමයාගේ හැඬීම වැන්න.
733. දවනු ලබන්නේ නෑයන්ගේ හඬාවැලැපුම් නො දනී. එහෙයින් මළා වූ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
734. බිඳුණු වතුරකළය නැවත ගැළපිය නො හැක්කේ යම්සේ ද, යමෙක් මිය ගියහුහට නැවත ශෝක කෙරේ ද එය මෙසේ නිෂ්ඵල තැතකි.
735. දවනු ලබන්නේ නෑයන්ගේ හඬා වැලැපුම් නො දනී. එහෙයින් මළ ඔහුට නො හඬමි. ඔහුගේ යම් ගතියක් ඇද්ද හේ එපරිදි ගියේ ය.
4. උරග ජාතක යි.
736. ඝත රජතුමනි, සෙස්සෝ ශෝක කරති, හඬති. සෙසු ජනයා කඳුළු සහිත මුහුණු ඇත්තෝ ය. (තෙපි) පහන්මුහුණ ඇත්තහු ය. කවර හෙයින් ශෝක නො කරන්නහු ද?