700. රථාචාර්ය්යය, ස්ත්රීන් දෙදෙනා කෙරේ සමාන බවක් නැත. ආහාරයෙහි ද සමාන බවක් නැත. එයින් කලහයට කරුණු නැතයී සේ යි. එහෙත් මිතුරන්ගේ මිතුරුකම බිඳැ දෙදෙනාගේ මස් කන්නට සිතූ මේ දුෂ්ට සිවලාගේ සිතිවිල්ල බලව.
701. ප්රිය බව සුන් වැ ගිය තැනෙකැ හිවල්ලු වෘෂභයා ද සිංහයා ද අනුභව කරති, තියුණු කඩුව මාංසය මෙන් පිසුනු බස මිත්රත්වය පෙරලයි නොහොත් මිත්රත්වය කපා දමයි.
702. රථාචාර්ය්යය, මේ දෙදෙනාගේ යම් මෘතශයනයක් දක්නෙහි ද යමෙක් මිත්රභේද කරන්නහුගේ කීම සත්ය යැ යි පිළිගනී ද හේ ද මෙසේ මරණයට පැමිණේ.
703. රථාචාර්ය්යය, මිතුරන්ගේ මිතුරුකම බිඳින්නහුගේ කීම යම් කෙනෙක් සත්යයැ යි නො පිළිගනිත් ද ඔවුහු දෙව්ලොව ගියවුන් සේ සැප විඳිති.
9. සන්ධිභේද ජාතක යි.
704. රජතුමනි, අතින් පහරනේ යැ. පයින් පහරනේ යැ. මුහුණ පහරනේ යැ. (එහෙත්) හෙතෙම ඒකාන්තයෙන් ප්රිය වේ. පහර දීමේ හේතුවෙන් ප්රියවන්නා කවරේ දැ යි දන්නෙහි ද?
705. රජතුමනි, කැමති සේ ආක්රෝශ කෙරෙයි (එහෙත්) ඔහුට ආක්රෝශ පැමිණීම රිසි නො වේ. හෙතෙම ඒකාන්තයෙන් ප්රිය වේ. ඒ කරුණු නිසා ප්රියවන්නා කවරෙක් දැ යි දන්නෙහි ද?
706. රජතුමනි, අභූත චෝදනාවෙන් චෝදනා කරයි. බොරු සිහිපත් කරවන්නේ ය. හෙතෙම ඒකාන්තයෙන් ප්රිය වේ. ඒ කරුණු නිසා ප්රියවන්නා කවරෙක් දැ යි දන්නෙහි ද?
707. රජතුමනි, ආහාරපාන ද රෙදිපිළි ද ඇඳපුටු ආදිය ද ගෙන යන ඔව්හු ඒකාන්තයෙන් ප්රිය වෙත්, ඒ කරුණු නිසා ප්රියවන්නා කවරෙක් දැ යි දන්නෙහි ද?
10. දේවතා පඤ්හ ජාතක යි.
පස්වන චූළකුණාල වග යි.
එහි උද්දානය:
මිනිසුන්ගේ ඇලීම පවසන කින්නරී ජාතක යැ, ‘අසක්ඛිං’ යන පදය ඇති වානර ජාතක යැ, ‘අවසිමහ’ යනාදි වූ කුන්තිනී ජාතක යැ, නීලිය සඳහන් කරන අම්බචෝර ජාතක යැ, අග්නිදාහය කියන ගජකුම්භ ජාතක යැ, ස්වාදු රස දක්වන කෙසව ජාතක යැ, යළි අයකූට ජාතක යැ, එසේම අරඤ්ඤ ජාතක යැ, සාරථියා ඇමතූ සන්ධිභේද ජාතක යැ, ‘හන්ති’ පදයද ඇති දේවතා පඤහ යැ යන දසය යි.
චතුක්ක නිපාතය නිමි.
එහි වර්ග උද්දානය:
විවර වර්ග යැ, පුචිමන්ද වර්ග යැ, කුටිදූසක වර්ග යැ, බහුභාණකයකු ඇති කෝකාලික වර්ග යැ, පස්වැනි චූළකුණාල වර්ගය ද මොනවට ප්රකාශ කරන ලද්දේ යි.