5. චූළකුණාල වර්‍ගය
668. මිනිසුන් කෙරේ ඇලීම කරන නොයෙක් සිතුවිලි ඇති නිග්‍රහ කොට හික්මවන්නට නො හැකි ස්ත්‍රීන් විශ්වාස නො කරන්නේ ය. ඉදින් හැම ස්ත්‍රීහු තමන් අප්‍රීති වන්නේ වුව ද තොටුපළ සමානයහ.
669. කණ්ඩරී රජුටත් කින්නරී බිසොවටත් යම් රාගකාරණයෙක් වී ද එය දැක හැම ස්ත්‍රීහු සිය සැමියන්ගේ ගෙහි නො ඇලෙති. එය එසේ ම ය. කණ්ඩරී රජුගේ භාර්‍ය්‍යාව පිළු වූ අන් පුරුෂයකු දැක රජු හැර දැමී ය.
670. අතිශය කාමාශක්ත බක, පාවාරික යන රජවරුන්ගේ බිසෝවරු මෙහෙකරුවන් හා අනාචාරයෙහි හැසුරුණාහු. ස්ත්‍රීහු සිය සැමියා කෙරෙන් පිටත් කවර පුරුෂයකු සමග වුව නො හැසිරෙත් ද?
671. මුළු ලොවට අධිපති බඹදත් රජුගේ පිංගියානී නැමැති කාමසම්පත් පතන ප්‍රිය බිරිඳ මෙහෙකරුවකු හා අනාචාරයෙහි හැසුරුණා ය. ඕතොමෝ ඔහු ද අගබිසෝ තනතුර ද යන (දෙකින්) පිරිහුණා ය.
1. කින්නරී ජාතක යි.
672. කුම්භීලය, (මම) තමා දියෙන් ගොඩ නගන්නට ඒකාන්තයෙන් සමත් වීමි. දැන් මම යළිත් තාගේ වසඟයට නො යමි.
673. සාගරයක් වැනි ගඟෙන් එතෙර යම්බඳු ඵලජාතියක් ඇද්ද (එයින් මට) කම් නැත. තෙල අඹ දඹ වැල වරකා වලට වඩා දිඹුල්ගෙඩි මට උතුමි.
674. යමෙකුත් උපන් අර්‍ත්‍ථය වහා නො වටහා ගනී ද හෙතෙම සතුරන්ගේ වසඟයට පැමිණෙයි. පසුව තැවෙන්නේ ද වේ.
675. යමෙක් උපන් අර්‍ත්‍ථය වහා වටහා ගනී ද හෙතෙම සතුරු පීඩාවෙන් මිදෙන්නේ ය. පසුව නො තැවෙන්නේ යි.
2. වානර ජාතක යි.
676. රජතුමනි, තොපගේ ගෙහි නිතර සත්කාර කරනලදු වැ පුදනලදු වැ විසුවෙමු. දැන් තෙපි ම නිවසින් යන කරුණු කෙළෙහි. එහෙයින් මම යමි.
677. යමෙක් අනුන් විසින් දරුණු අපරාධ තමාට කළ කලැ තමා විසිනු දු දරුණු අපරාධ අනුන්ට කළේ ද ඒකාන්තයෙන් එය කරන ලදැ යි දනී ද මෙසේ වූ කල වෛරය සන්හිඳේ. කොස් ළිහිණිය, මෙහි වසව (පිටත) නො යව.
678. රජතුමනි, අනුන්ට පීඩා කළ පුද්ගලයාගේ ද පීඩා ලද පුද්ගලයාගේ ද මිත්‍රත්‍වය නැවත ඇති නො වේ. මාගේ හිත මෙහි වාසයට කැමති නො වේ. එහෙයින් යන්නෙමි.
679. උපකාර ලබන්නාගේ ද උපකාර කරන්නාගේ ද මිත්‍රත්‍වය නැවත ගැළපේ. ප්‍රාඥයන්ගේ මිතුරුකම නැවත ඇති වේ. බාලයන්ගේ මිතුරුකම නැවත ඇති නො වේ. කුන්තිනිය, මෙහි වසව (පිටත) නො යව.
3. කුන්තිනී ජාතක යි.
680. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ පැසුණු කෙස් කළු කරන, සුදු කෙස් උගුල්ලා වෙහෙසට පත්වන්නකුගේ වසඟයට යේවා.
681. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ උපතින් විසි අවුරුද්ද, පස්විසි අවුරුද්ද හෝ එකුන්තිස් අවුරුද්දට පත් වයස ඇති සැමියකු ලබාවා.
682. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ ගණිකාවක වී හුදෙකලා ව දිගමග යේවා. සලකුණු කී තැනෙහි දී සැමියා නො දකීවා.
683. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ මනාලෙස හැඳි පැළඳි වස්ත්‍ර හා මල්දම් ඇත්තී සඳුන්කල්ක ගල්වා සැරසුණී තනි ව යහනේ සයනය කෙරේවා.
4. අම්බචෝර ජාතක යි.