676. රජතුමනි, තොපගේ ගෙහි නිතර සත්කාර කරනලදු වැ පුදනලදු වැ විසුවෙමු. දැන් තෙපි ම නිවසින් යන කරුණු කෙළෙහි. එහෙයින් මම යමි.
677. යමෙක් අනුන් විසින් දරුණු අපරාධ තමාට කළ කලැ තමා විසිනු දු දරුණු අපරාධ අනුන්ට කළේ ද ඒකාන්තයෙන් එය කරන ලදැ යි දනී ද මෙසේ වූ කල වෛරය සන්හිඳේ. කොස් ළිහිණිය, මෙහි වසව (පිටත) නො යව.
678. රජතුමනි, අනුන්ට පීඩා කළ පුද්ගලයාගේ ද පීඩා ලද පුද්ගලයාගේ ද මිත්රත්වය නැවත ඇති නො වේ. මාගේ හිත මෙහි වාසයට කැමති නො වේ. එහෙයින් යන්නෙමි.
679. උපකාර ලබන්නාගේ ද උපකාර කරන්නාගේ ද මිත්රත්වය නැවත ගැළපේ. ප්රාඥයන්ගේ මිතුරුකම නැවත ඇති වේ. බාලයන්ගේ මිතුරුකම නැවත ඇති නො වේ. කුන්තිනිය, මෙහි වසව (පිටත) නො යව.
3. කුන්තිනී ජාතක යි.
680. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ පැසුණු කෙස් කළු කරන, සුදු කෙස් උගුල්ලා වෙහෙසට පත්වන්නකුගේ වසඟයට යේවා.
681. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ උපතින් විසි අවුරුද්ද, පස්විසි අවුරුද්ද හෝ එකුන්තිස් අවුරුද්දට පත් වයස ඇති සැමියකු ලබාවා.
682. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ ගණිකාවක වී හුදෙකලා ව දිගමග යේවා. සලකුණු කී තැනෙහි දී සැමියා නො දකීවා.
683. යම් තැනැත්තියක් තොපගේ අඹ සොරකම් කළා ද ඕ තොමෝ මනාලෙස හැඳි පැළඳි වස්ත්ර හා මල්දම් ඇත්තී සඳුන්කල්ක ගල්වා සැරසුණී තනි ව යහනේ සයනය කෙරේවා.
4. අම්බචෝර ජාතක යි.
684. පචලකය, පාවක නම් වූ ද කෘෂ්ණ වර්තනී නම් වූ ද ගින්න යම්කලෙක වනය දවා ද එකලැ මඳ විරිය ඇත්තේ කෙසේ කරන්නෙහි ද?
685. ගස්බෙන ද පොළවෙහි ගුල් ද බොහෝ වෙති. ඉදින් ඒවා කරා නො පැමිණියමෝ නම් අපට මරණය ම වෙයි.
686. යමෙක් කටයුතු සෙමින් කළයුතු කාලයේ ඉක්මනට කෙරේ ද, ඉක්මනට කටයුතු කාලයෙහි සෙමින් කෙරේ ද හේ පෑගී ගිය වියළි තල්පතක් මෙන් දියුණුව නසයි.
687. යමෙක් වැඩ සෙමින් කටයුතු කල්හි සෙමින් කෙරේ ද ඉක්මනින් කටයුතු කල්හි ඉක්මනින් කෙරේ ද හේ රාත්රියේ පුර අව පක්ෂයන් අනුව බෙදෙන හඳ මෙන් අභිමතාර්ත්ථය සම්පූර්ණ කරයි.
5. ගජකුම්භ ජාතක යි.
688. හැම සැපතින් සම්පූර්ණ අපගේ රජතුමා හැරපියා කේශව නැමැති භාග්යවත් තපස්වී කප්ප තවුසාගේ අසපුවෙහි කෙසේ ඇලේ ද?
689. නාරදය, කප්ප තවුසාට මිහිරි වූ ළගන්නා වූ සුබැසි වචන ද සිත් අලවන රුක් ද ඇත. මොහු මාගේ සිත් අලවති යි.
690. පිරිසුදු මස්රස සහිත ඇල්සාලේ බත බිදියෙ යැ. ලුණු නැති බොඩහමු හූරහැල් කෙසේ ඒ තොප පිනවා ද.
691. විශ්වාසය ඇති කල්හි අමිහිරි වූ ද මිහිරි වූ ද මඳ වූ ද බොහෝ වූ ද ආහාර අනුභව කෙරේ ද (එය රසවත් වේ). රසයෝ විශ්වාසය පරම කොට ඇත්තෝ ය.
6. කේසව ජාතක යි.
692. ඉතා විශාල යකුළ ඔසවා ගෙන ඒ ඔබ අහසේ සිටී. තෙපි මාගේ රැක්ම පිණිස නියුක්තවහු ද නැතහොත් මා මරන්නට සිතන්නහු ද?
693. රජාණෙනි, තොපට වධ පිණිස මම මෙහි මෙහෙයවන ලද්දෙමි. දෙවියන්ගේ රජ වූ ශක්රයා තා රක්නේ ය. එහෙයින් තොපගේ හිස නො පළමි.