267. එබැවින් ඉදිබුවා, (මුවා බැඳුණු) වරපටින් ඇඹරු මලපුඩුව දතින් කපව. වැදි යම් සේ නො ඒ ද මම එසේ කෙරෙමි. (වැද්දාගේ ගමන වළක්වමි.)
268. ඉදිබුවා දියට පිවිසියේ ය. මුවා වනයට පැවිසියේ ය. ශතපත්රයා (කෑරලා) තමා හුන් අතු අගින් දරුවන් ගෙනැ අඳුරට ගියේ යි.
6. කුරුඞ්ගමිග ජාතක යි.
269. ඔහු කැමැත්තා වූ මා විසින් කැමැති වූ ප්රිය වූ ස්වාමි වූ අස්සක නම් රජු හා පෙරැ මේ ප්රදේශය හැසිරෙන ලද.
270. අළුත් වූ සුවදුක් දෙකින් පැරැණි සුවදුක් දෙක මුවහ කරනු ලැබේ. එහෙයින් අස්සක නම් රජුට වඩා මේ ගොම පණුවා මැ මට අතිශයින් ප්රිය වේ.
7. අස්සක ජාතක යි.
271. ගඞ්ගාවෙන් එතෙර යම් මිහිරි ඵලයෙක් දක්නා ලද ද ඒ අඹ පලයෙන් ද දඹ පලයෙන් ද වැළවරකායෙන් ද මට කම් නැත. මාගේ උදුම්බර වෘක්ෂය මැ (මට) උතුමි.
272. සුංසුමාරය, තාගේ සිරුර එකතින් මහත් වේ. ඒ සිරුරු පමණට නුවණ නැත. මා විසින් වංචා කරන ලද්දෙහි ය. දැන් කැමැති පරිදි නැඟී යව.
8. සුංසුමාර ජාතක යි.
273. වෘක්ෂය, මා විසින් වෙනෙහි දක්නා ලද අශ්වකර්ණ නම් වූ ද බුළු නම් වූ ද වෘක්ෂයෝ වෙති. ඒ රුක්හු තෝ යම් සේ ඔබිනොබ හැසිරෙන්නෙහි ද එසේ නො ඇවිදිත්.
274. මැදිරිය බිඳැ ගෙනැ ආ මේ පුරාණ කක්කරයා (සේවටුවා) වාලයෙන් ඇඹරූ පාසයෙන් ගැළැවීමෙහි දක්ෂ වූයේ පලා යයි. (මිනිස් බසින්) බණන්නේ ය.
9. කක්කර ජාතක යි.
275. පින්වත, යම් රුකෙක්හි එක් පහරින් මුදුන බිඳින ලද ද කුඩා පත් ඇති කටු සහිත වූ මේ කවර නම් ඇති රුකෙක් වේ ද?
276. (ඉඹුල් ආදි) හර නැති කාෂ්ට අවයව ඇති වෘක්ෂයන් විඳිමින් මේ කන්දගලකයා ඇවිදින ලද්දේ ය. පසුව පක්ෂියා යම් රුකෙක්හි ඇන හිස පළා ගත්තේ ද එසේ වූ හර ඇති කිහිරි රුකට පැමිණියේ යි.
10. කන්දගලක ජාතක යි.
සවැනි නතංදළ්හ වර්ග යි.
එහි උද්දානය:
දළ්හබන්ධන-බන්ධනාගාර ජාතක යැ’ හංසාදීන් පවසන කෙළිසීල ජාතකය ද යළි විරූපක්ඛාදි නම් ඇති ඛන්ධවත්ත ජාතක යැ සවිට්ඨක නම් කවුඩා පවසන වීරක ජාතක යැ, (මච්ඡවර) ගඞ්ගෙය්ය ජාතක යැ, කුරුඞ්ගමිග ජාතකය හා අස්සක ජාතකය සහිත අඹපල සඳහන් දරන සුංසුමාර ජාතකය කක්කර ජාතක යැ. (ගරුළ) කන්දගල ජාතකය යන මෙයින් දසය වේ.