6. නතංදළ්හ වර්ගය
253. අයෝමය බන්ධනය ද දාරුමය බන්ධනය ද වැහැරි ආදියෙන් කළ බන්ධනය ද දළ බැඳුම් යයි නුවණැත්තෝ නො කියත්. මණිකුණ්ඩලයන්හි දැඩි ඇල්මක් ඇද්ද අඹුදරුවන් කෙරෙහි යම් අපේක්ෂාවක් ඇද්ද-
254. (යට කී) මේ බන්ධනය දැඩි යයි නුවැණත්තෝ කියත්. ඔබිනොබ ඇදහෙළෙන්නා වූ සිථිල වූ මුදාලිය නො හැක්කා වූ යම් ක්ලේශ බන්ධනයෙක් ඇද්ද එය ද සිඳැ කාමයන්හි අපේක්ෂා නැති නුවණැත්තෝ කම්සුව හැරැපියා තපසට යෙති.
1. බන්ධනාගාර ජාතක යි.
255. හංසයෝ ද කොස් ලිහිණියෝ ද මොණරු ද ඇත්හු ද එළුවෝ ද වෙනත් මෘගයෝ ද යන මේ සියල්ලෝ සිංහයාට බිය වෙත්. ශරීරයෙහි සමාන බවෙක් නැත. (ශරීරයෙහි උස් මිටි බව කරුණක් නො වේ යනු අදහස යි.)
256. එපරිද්දෙන් මැ මනුෂ්යයන් අතරැ ද ඉදින් වයසින් බාල නමු දු නුවණැත්තේ වී නම් හේ මැ එහි මහත් වන්නේ ය. මහත් ශරීර ඇත්තේ නමුදු අඥානයා මහත් නො වන්නේ යි.
2. කේළිසීල ජාතක යි.
257. විරූපක්ඛ නම් නාකුලය සමඟ ද මාගේ මෛත්රිය වේ. එරාපථ නම් නාකුලය සමඟ ද මාගේ මෛත්රිය වේ. ඡබ්යාපුත්ත නම් නාකුලය සමඟ ද මාගේ මෛත්රිය වේ. කණ්හාගෝතමක නම් නාකුලය සමඟ ද මාගේ මෛත්රිය වේ.
258. පා නැතියන් හා ද මාගේ මෛත්රිය වේ. දෙපාවන් හා ද මාගේ මෛත්රිය වේ. සිවු පාවන් හා ද මාගේ මෛත්රිය වේ. බහුපාවන් හා ද මාගේ මෛත්රිය වේ.
259. අපාදක සතෙක් හිංසා නො කෙරේවා. දෙපා සතෙක් මට හිංසා නො කෙරේවා. සිවුපා සතෙක් මට හිංසා නො කෙරේවා. බහුපා සතෙක් මට හිංසා නො කෙරේවා.
260. සියලු සත්ත්වයෝ ය, සියලු ප්රාණීහු ය, සියලු භූතයෝ ය යන සියල්ලෝ මැ, යහපතක් මැ දකිත්වා. කිසිවකු කරා දුකෙක් නො ඒවා.
261. බුදුරද (අනන්ත ගුණැතියෙන්) අප්රමාණය. ධර්මය අප්රමාණය, සඞ්ඝයා අප්රමාණය. දීර්ඝජාතීහු ද නයි ද ගෝනුස්සෝ ද සියපාවෝ ද (පත්තෑයෝ ද) මකුළුවෝ ද සිකනලු ද මීයෝ ද ප්රමාණවත්හ.
262. මා විසින් (රුවන්තියා ගුණ බෙලෙන්) ආරක්ෂාව කරන ලදු. මා විසින් පරිත්රාණ ද කරන ලදු. (මට අහිත වූ) භූතයෝ පහවෙත්වා. හේ මම භාග්යවතුනට නමස්කාර කෙරෙමි. (විපස්සී ආදි) සත් බුදුවරුනට මාගේ නමස්කාරය වේවා.
3. ඛන්ධවත්ත ජාතක යි.
263. වීරකය, මියුරු කොට හඬන මොණර කරකට බඳු පැහැති මාගේ වල්ලභයා වන සවිට්ඨක නම් පක්ෂියා දක්හිද?
264. දියෙහි ද ගොඩ ද හැසිරෙන නිත්යයෙන් අමු මස් කන ඒ පක්ෂියාට අනු වැ ක්රියා කරන (තී සැමි) සවිට්ඨක නම් කවුඩා සෙවෙලෙහි වෙළී මෙළේ යි.
4. වීරක ජාතක යි.
265. ගංගාවෙහි උපන් මත්ස්යයා ද හොබනේ ය. යමුනාවෙහි උපන් මත්ස්යයා ද හොබනේ ය. නිග්රෝධ පරිමණ්ඩලකාය ඇති රියහිසක් සේ දික් වූ ග්රීවා ද ඇති පා සතරක් ඇති මේ සත්ත්ව තෙමේ (මේ ඉදිබුවා) සියල්ලන් මැ (තොප දෙදෙනා මැ) ඉක්මවා බබළ යි.
266. යමක් ඇසී ද එය නො කීයේ ය. විචාරන ලද්දේ අනෙකක් කිය යි. ආත්මප්රශංසා කරන මේ සත්ත්වයා (මේ ඉදිබුවා) අපට නො රුස්නේ ය.
5. ගඞ්ගෙය්ය ජාතක යි.
267. එබැවින් ඉදිබුවා, (මුවා බැඳුණු) වරපටින් ඇඹරු මලපුඩුව දතින් කපව. වැදි යම් සේ නො ඒ ද මම එසේ කෙරෙමි. (වැද්දාගේ ගමන වළක්වමි.)
268. ඉදිබුවා දියට පිවිසියේ ය. මුවා වනයට පැවිසියේ ය. ශතපත්රයා (කෑරලා) තමා හුන් අතු අගින් දරුවන් ගෙනැ අඳුරට ගියේ යි.
6. කුරුඞ්ගමිග ජාතක යි.