2. සඞ්කිච්ච ජාතකය
3575. උයන්පල්ලා රාජසභාවෙහි හුන් ශ්‍රේෂ්ඨරථාචාර්‍ය්‍ය වූ බ්‍රහ්මදත්ත රජු දැක අනතුරු ව ඒ රජහට මෙසේ දැන්වී ය: “දේවයන් වහන්ස, නුඹ වහන්සේ යමකුට අනුකම්පා ඇතිසේක් ද,
3576. ඍෂීන් අතුරෙන් මැනැවැයි සම්මත වූ මේ සංකිච්ව නම් තාපස තෙම නුඹ වහන්සේ ගේ උයනට පැමිණියේ වෙයි. එහි වහා යනු මැනැව. නොපමා වැ දැකැගනුව” යි කියා යි.
3577. ඉක්බිති ශ්‍රේෂ්ඨ රථාචාර්‍ය්‍ය වූ ඒ රජ තෙමේ සුදුසු වූ යානාවකට නැඟැ මිත්‍රාමාත්‍යයන් විසින් පිරිවරන ලද්දේ වහා ගියේ ය.
3578. කසීරට වැසියන්ගේ රට දියුණු කරන්නා වූ රජ තෙම උයන් දොරටුවට පැමිණ වල්විදුනාව ද නළල්පට ද කඩුව ද කුඩය ද උපාහනය ද යන පංචරාජකකුධභාණ්ඩයන් බහාතබා,
3579. රජ තෙමේ යානාවෙන් බැස පංචරාජකකුධභාණ්ඩ ඇමතියා අතට දී දායපස්ස නම් උයනේ වැඩහුන් සංකිච්ව තාපසයන් වෙතට එළැඹියේ ය.
3580. ඒ රජ තෙමේ ඍෂිවරයා වෙත එළැඹැ ඍෂිවරයා සමඟ සතුටු සාමීචි කථා පැවැත්වී ය. ඒ සතුටු සාමීචි කථාව කොටැ නිමවා එකත් පසෙකැ හිඳගත්තේ ය.
3581. එකත් පසෙක හුන්නේ මැ ප්‍රශ්න ඇසීමට කාලය දැනගත්තේ ය. ඉක්බිති පාපකර්‍මයන් විචාරීමට පිළිපන්නේ ය.
3582. ඍෂීන් අතුරෙන් මැනැවැ යි සම්මත වූ ඍෂි සමූහයා විසින් පිරිවරන ලදු වැ දායපස්ස නම් උයනෙහි හුන්නා වූ සංකිච්ච නම් ඍෂිවරයා විචාරමි.
3583. දශකුශලධර්‍මය ඉක්මවා හැසිරෙන සත්‍වයෝ උත්පත්ති වශයෙන් පරලෙව්හි දී කවර ගතියකට යෙද්ද, මා විසින් ධර්‍මය ඉක්මවන ලදී. ඒ කරුණ විචාරන ලද්දා වූ මට කියනු මැනැවි.
3584. සංකිව්ච ඍෂි තෙමේ කසීරට වැසියන්ගේ රට දියුණු කරන්නා වූ, දායපස්ස උයනේ හුන්නා වූ රජුට මෙසේ කීයේ ය. මහරජ, මාගේ වචනය අසව.
3585. සොරුන්ගෙන් ගැවැසීගත් මඟකින් යන්නහුට යමෙක් නිර්‍භය මාර්‍ගය කියා දේ නම්, ඉදින් ඔහුගේ වචනයත් කරන්නේ නම්, සොරු නමැති කටු ඔහුට හමු නො වන්නේ ය.
3586. අධර්‍මයෙහි පිළිපන්නහුට යමෙක් ධර්‍මයෙන් අනුශාසනා කෙරේ නම්, ඉදින් ඔහු ඔහුගේ වචනයට අනුව පිළිපදී නම් දුගතියට නො යන්නේ ය.
3587. මහරජ, දශකුශල සංඛ්‍යාත ධර්‍මය තෙම සුගතිගාමී මාර්‍ගය බැවින් නියම මාර්‍ගය වේ. දශ අකුශල සංඛ්‍යාත අධර්‍මය තෙම අපායගාමී මාර්‍ගය බැවින් නොමනා වන්නේ ය. අධර්‍මය තෙම සත්‍වයා නිරයට පමුණුවයි. ධර්‍මය තෙම සත්‍වයා සුගතියට පමුණුවයි.
3588. මහරජ, විසම ජීවිකාවෘත්ති ඇති අධර්‍මචාරී වූ මනුෂ්‍යයෝ පරලෙව්හි දී උත්පත්ති වශයෙන් යම් බඳු ගතියකට යෙද්ද, ඒ නිරයන් ගැන මම නුඹට කියමි. එය අසව.
3589. සංජීව නම් නරකය ද කාළසූත්‍ර නම් නරකය ද සංඝාත නම් නරකය ද රොරුව නම් නරක දෙක ද තවද අන්‍ය වූ මහාවීචි නරකය ද තපන නම් නරකය ද පතාපන නම් නරකය ද,
3590. යන මේ අටමහා නරකයෝ ඉක්මවාලියැ නො හැක්කාහ යි කියන ලද්දාහ. මෙ කී එක එක නරකයෙක්හි සිවුපසැ සොළස බැගින් උස්‍යද නරකයෝ ද රුදුරු කර්‍මයෙන් ගැවසීගත්තාහු විද්‍යමාන වෙත්.
3591. ඒ නරකයෝ තද මසුරන් තවන්නෝ යැ. බලවත් දුක් ඇත්තෝ ය. ගිනිසිළු විහිදුවන්නෝ ය. මහත් බිය ඇත්තෝ ය. ලොමුදහගන්නාසුලු ය. බිහිසුණු වූවාහු ය. ප්‍රතිභය ඇත්තාහු ය. දුක් ගෙන දෙන්නාහ.