19. සට්ඨි නිපාතය
1. සෝණක ජාතකය
3508. සෝණක නම් යහළුවා වසන තැන අසා කියන්නා වූ කවරකුහට මම සියයක් දෙම් ද, දැක කියන්නා වූ කවරකුහට දහසක් දෙම් ද, වැලිකෙළියෙහි පටන් යහළු වූ සෝණක නම් තැනැත්තා ගැන මට කවරෙක් නම් කියන්නේ ද?
3509. ඉක්බිති තරුණ වූ පඤ්චචූළක නම් මාණවක තෙම ප්රතිගායනා වශයෙන් මේ ගාථාව කීවේ ය. මහරජතුමනි, සෝණක නම් තැනැත්තා ගැන අසා කියන්නා වූ මට සියයක් දුන මැනැවි. සෝණක නම් තැනැත්තා දැක කියන්නා වූ මට දහසක් දුන මැනැවි. වැලිකෙළියෙහි පටන් යහළු වූ සෝණක නම් යහළුවා මම කියමි යි.
3510. මාණවකය, ඒ සෝණක තෙම නුඹ විසින් කිනම් ජනපදයෙක්හි දී දක්නා ලද්දේ ද? කවර රටක දී කවර නියම්ගමෙක්හි දක්නා ලද ද, ඒ කරුණ විචාරනු ලබන්නා වූ නුඹ මට කියව යි රජ තෙම කීයේ ය.
3511. දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ ම රටෙහි නුඹ වහන්සේගේ ම උයන් බිමෙහි ඍජු වූ කඳ ඇති නිල් පැහැති සිත්කලු වූ වැහිවලාකුළු බඳු ගසින් ගස හා අත්තෙන් අත්ත එකට වෙලීගත් මහා සාලවෘක්ෂයෝ වෙත්.
3512. ඒ සාලවෘක්ෂයන්ගේ මුල්හි සෝණක තෙමේ කාමූපාදානයන්ගෙන් පිරී පවත්නා ලෝකයෙහි කාමූපාදාන විරහිත වූයේ එකොළොස් ගින්නෙන් දැවෙන ලෝකයෙහි නිවුණේ ම ධ්යාන කෙරේ යයි තරුණ තෙම කීයේ ය.
3513. ඉක්බිති ඒ අරින්දම රජතෙම සිවුරඟ සෙනග සමග පිටත් විය. මඟ සම කරවා සෝණක නම් පසේබුදුන් වහන්සේ යම් තැනෙක්හි නම් එහි ගියේ ය.
3514. රජතෙම උයන් බිමට ගොස් ඒ මහා උයන්හි හැසිරෙන්නේ එකොළොස් ගින්නෙන් දැවෙන සත්වයන් අතුරෙහි නිවී වැඩහුන් සෝණක නම් පසේබුදුන් වහන්සේ දැක්කේ ය.
3515. හිස මුඩු කරගත් සඟළ සිවුරක් පෙරැවි මේ මහණ තෙම දිළින්දෙකි. මා පියන් නැත්තේ ම ගස මුල ධ්යාන කෙරේ යයි කීවේ ය.
3516. සෝණක පසේබුදුරජාණන් වහන්සේ මේ වදන් අසා මෙසේ කීහ. “මහරජ, ආර්ය්යමාර්ගධර්මය නාමකායයෙන් ස්පර්ශ කරනලද තැනැත්තා දිළින්දෙක් නොවන්නේ ය”.
3517. මහරජ, මේ ලෝකයෙහි යම් කිසිවෙක් දස කුසල් දහම් බැහැර කොට දස අකුසල්හි යෙදේ ද, පාපී වූ ද පාපීන්ට පිහිට වූ ද හෙ තෙමේ දිළින්දෙක් වේ යයි.
3518. අරින්දම යනු මාගේ නම වෙයි. මා කසීරජය යි දනිත්. සෝණකයන් වහන්ස, මෙහි පැමිණි පින්වත් නුඹ වහන්සේට සුවපහසු කෙසේ දැ යි,
3519. මහරජ, ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්ෂුවකට සැමදා ම යහපත් ය. මහරජ, ඔවුන්ගේ කෝෂ්ඨාගාරයෙහි ධන ධාන්ය තැන්පත් නො කෙරෙත්. සැළෙහි ද නො දමත්. පැසෙහි ද නො දමත්. මනා පැවතුම් ඇති අනුන් විසින් නිමවන ලද්දා වූ ආහාර සොයන ඔව්හු ඒ අනුන් දෙන අහරින් යැපෙත්.
3520. යම් හෙයෙකින් කැප සරුප් ලෙස ලැබුණු හෙයින් නිරවද්ය පිණ්ඩාහාරය වැළැඳිය යුතු වේ ද, ඒ පිණ්ඩාහාරය හේතුවින් කිසියම් ක්ලේශයකුත් පීඩා නො කෙරේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්ෂුහට මේ දෙවැනි යහපත ද වේ.
3521. යම් හෙයෙකින් පස්විකා වැළැඳිය යුතු හෙයින් නිබ්බුතපිණ්ඩය නම් ලත් පිණ්ඩාහාරය වැළැඳිය යුතු වේ ද, ඒ පිණ්ඩාහාරය හේතුවින් කිසියම් ක්ලේශයකුත් පීඩා නො කෙරේ ද එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්ෂුහට තෙ වැනි යහපත ද වේ.
3522. යම් හෙයෙකින් කුලාදියෙහි නො ඇලී රටෙහි හැසිරෙන යම් ඒ භික්ෂුවක්හට රාගාදි කිසියම් සඞ්ග කෙනෙක් නැද්ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්ෂුහට මේ සිවු වැනි යහපතත් වේ.
3523. යම් හෙයෙකින් නගරය ගින්නෙන් දැවෙනු ලබන කල්හි යම් භික්ෂුවකගේ කිසිවක් නො දැවේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්ෂුහට මේ පස්වැනි යහපතත් වේ.
3524. යම් හෙයෙකින් රට සොරුන් පැහැර ගනු ලබන කල්හි මේ භික්ෂුවගේ කිසිවක් පැහැර නො ගනු ලැබේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්ෂුහට මේ ස වැනි යහපතත් වේ.
3525. යම් හෙයෙකින් සොරුන් විසින් රක්නා ලද මාර්ගයෙහි ද අන්ය වූ යම් බඳු මාර්ගෝපද්රව ඇත් නම් එ බඳු තැන්හි ද මනා පැවතුම් ඇති භික්ෂු තෙම පා සිවුරු ගෙන සුවසේ යයි ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්ෂුහට මේ සත් වැනි යහපතත් වේ.
3526. යම් හෙයෙකින් භික්ෂු තෙම යම් යම් දිසාවකට පිටත් ව යේ ද, ඒ ඒ දිසාවට අපේක්ෂා රහිත ව යේ ද, එ හෙයින් ගිහිගේ හැරපියා පැවිදි වූ නිර්ධන භික්ෂුහට මේ අට වැනි යහපතත් වේ.