5. සම්භව ජාතකය
2850. සුචීරත බ්‍රාහ්මණය, අපි මේ ඉඳිපත් නුවර රාජ්‍යයට ද කුරුරට අධිපති භාවයට ද පැමිණියෙමු. දැන් මේ පෘථිවිය දිනන්නටත් රාජ්‍යය මහත් බවට පමුණුවා ගන්නටත් කැමැත්තෙමු.
2851. එය ද ධර්‍මයෙන් වේ. අධර්‍මයෙන් නො වේ. අධර්‍මය රුචි නො වේ. සුචීරත නම් බ්‍රාහ්මණය, රජුගේ ම ධර්‍මයත් චරිතයත් සෙසු ජනයා විසින් අනුගමනය කටයුතු ය.
2852. බ්‍රාහ්මණය, යම් හෙයෙකින් මේ ලෝකයෙහි ද නින්‍දා නො ලබන ලද්දා වූ පරලෙව්හි ද නින්‍දා නො ලබන ලද වෙමු ද යම් හෙයෙකින් දෙව්මිනිසුන් අතුරෙහි යසසට පැමිණෙන්නෙමු ද එය කියනු මැනැවි.
2853. බ්‍රාහ්මණය, යම්බඳු මම ඵල විපාක සංඛ්‍යාත අර්‍ත්‍ථය ද මේ අර්‍ත්‍ථයට හේතු වූ ධර්‍මය ද කිරීමට කැමැත්තෙම් ද බ්‍රාහ්මණය, ඔබ විචාරන ලද්දේ ඒ අර්‍ත්‍ථය ද ධර්‍මය ද මට කියව.
2854. ක්‍ෂත්‍රිය රජතුමනි, නුඹ වහන්සේ අර්‍ත්‍ථය ද ධර්‍මය ද කිරීමට කැමැත්තහු ය යන යමක් වේ ද, මෙය ප්‍රකාශ කිරීමට විධුරපණ්ඩිතයා හැර අනෙකෙක් සුදුසු නො වේ යයි සුචීරත බ්‍රාහ්මණ තෙම කීයේ ය.
2855. සුචීරත බ්‍රාහ්මණය, මෙහි එව. මා විසින් මෙහෙයන ලද්දෙහි විධුර පණ්ඩිතයන් සමීපයට යව. ස්වර්‍ණය පිළිබඳ නිෂ්ක දහසක් හැරගෙන යව. අර්‍ත්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනා කිරීම පිණිස පූජා වශයෙන් මෙය දෙව යි රජ තෙම කීයේ ය.
2856. ඒ භාරද්වාජ ගොත්‍රයෙහි වූ සුචීරත බ්‍රාහ්මණ තෙම විධුර පණ්ඩිතයන් සමීපයට ගියේ ය. මහාබ්‍රහ්මණ තෙමේ තම ගෙහි ආහාර අනුභව කරන්නා වූ ඔහු දුටුවේ ය.
2857. මම වනාහි යස පිරිවර ඇත්තා වූ කෝරව්‍ය රජු විසින් එවන ලද දූතයෙම් වෙමි. යුධිට්ඨිල ගොත්‍රයෙහි වූ ධනඤ්ජය රජ තෙම අර්‍ත්‍ථය ද ධර්‍මය ද අසවයි මට කීයේ ය. විධුර පණ්ඩිතය, විචාරන ලද නුඹ වහන්සේ ඒ අර්‍ත්‍ථයත් ධර්‍මයත් මට කියා දෙනුමැන.
2858. බ්‍රාහ්මණය, මහාජනයාගේ නොයෙක් සිතුවිලි නැමැති ගඟ වසන්නෙමි යි කටයුත්තෙක් මට ඇතිවිය. ඒ මම ඒ සිතුවිලි නැමැති මහමුහුද වසන්නට නො පිළිවන් වෙමි. ඊට කෙසේ නම් අවකාශයක් වන්නේ ද එහෙයින් අර්‍ත්‍ථය ද ධර්‍මය ද විචාරන ලද්දා වූ මම තොපට කියන්නට නො සමත්මි යි විධුර පණ්ඩිත තෙම කීයේ ය.
2859. බ්‍රාහ්මණය, තමාට දාව උපන් භද්‍රකාර නම් ඖරස පුත්‍රයෙක් මට ඇත. නුඹ ඔහු වෙත ගොස් අර්‍ත්‍ථයත් ධර්‍මයත් විචාරව යි විධුරපණ්ඩිතයා කීයේ ය.
2860. ඒ භාරද්වාජ තෙමේ භද්‍රකාරයා කරා ගියේ ය. මහා බ්‍රාහ්මණ තෙමේ සිය ගෙහි හුන් ඒ භද්‍රකාර කුමරා දුටුවේ ය.
2861. මම වනාහි යස පිරිවර ඇති කෝරව්‍ය රජහු වෙතින් පිටත්කර එවන ලද දූතයෙමි. යුධිට්ඨිල ගෝත්‍ර ඇති ඒ රජ තෙම අර්‍ත්‍ථයත් ධර්‍මයත් ගැන අසව යි කීයේ ය. භද්‍රකාරය, ඔබ ඒ අර්‍ත්‍ථයත් ධර්‍මයත් මට ප්‍රකාශ කරනු මැනව.