3. ජයද්දිස ජාතකය
2776. ඒකාන්තයෙන් නිරාහාර වැ සිටිනා වූ මට සත්වැනි දිනයෙහි ආහාර වේලාව පැමිණි කල්හි බොහෝ කලකින් කෑ යුතු ආහාරයක් පහළ විය. තෙපි කොහි සිට ආවහු ද කවරෙක් හෝ වවූ ද එය යම්සේ මම් දන්නා ලද්දෙම් වෙම් ද එසේ තොපගේ ජාතිය කියව.
2777. මුව දඩයමට පිවිසියා වූ ජයද්දිස නම් වූ පංචාල රජ තොප විසින් අසන ලද්දේ ද ඒ මම පර්‍වත පාර්‍ශවයන්හි ද වනයන්හි ද හැසිරෙමි. මේ පසදමෘගයා අනුභව කරව. අද මා මුදවයි ජයද්දිස රජ තෙම කීයේ ය.
2778. මා විසින් හිංසා කරනු ලබන තෙපි මා සතු දෙයින් ම තමා විකුණාගන්නහු යැ. තා පළමු අනුභව කොට අනුභව කරනු කැමැති වූ මේ පසද මුවා පසුව කන්නෙමි. තොපට මේ වැලැපීමට කාලය නො වේ යයි යක්‍ෂ තෙම කීයේ ය.
2779. ඉදින් මට ගනුදෙනුවෙන් මිදීමෙක් නැද්ද, එහෙයින් ගොස් බමුණාට ඒ පොරොන්දු ධනය දී හෙට උදෑසන පෙරළා ඊමට ප්‍රතිඥා ගනුව. සත්‍යවචනය රක්නෙම් නැවත මෙහි එන්නෙමි යි රජ තෙම කීයේ ය.
2780. මහරජ, මරු සමීපයට පැමිණි තොප කිනම් කර්‍මයක් තවා ද? හෙට උදෑසන ඊමට හැක්කහු නම්, අවසර දෙන්නට හැක්කෙමු. එය මට කියව යි කීයේ ය.
2781. මා විසින් බ්‍රාහ්මණයාහට යම් ධනාශාවක් කරන ලද්දී නම්, එය මා විසින් නොමුදන ලදී. ඒ පොරොන්දුව බ්‍රාහ්මණයාහට දී සත්‍යවචනය රකිමින් නැවත පෙරළා එන්නෙමි යි රජ තෙම කීයේ ය.
2782. තොප විසින් බ්‍රාහ්මණයාහට යම් ධනාශාවක් ඇති කරන ලද්දී නම් ඒ පොරොන්දු ඇපය නොමුදන ලද්දේ ය. බ්‍රාහ්මණයාහට ඒ පොරොන්දු ධනය දී සත්‍ය රක්නේ නැවත පැමිණෙව යි යක්‍ෂ තෙම කීයේ ය.
2783. කාමයන් කැමැති හෙ පොරිසාදයාගේ අතින් මිදුණේ සිය මැදුරට ගොස් ඒ පොරොන්දු ධනය බ්‍රාහ්මණයාහට දී අලීනසත්ත නම් පුත් කුමරු කැඳවූයේ ය.
2784. පුත්‍රය, අද ම රාජ්‍යයෙහි අභිසේක වෙව. රටවැසියන් කෙරෙහි ද ජනයන් කෙරෙහි ද දැහැමින් රාජ්‍යය කරව. තොපගේ රටෙහි අධර්‍මයෙන් රාජ්‍යය කිරීමෙක් නම් නො වේවා, මම පොරිසාදයාගේ සමීපයට යමි.