8. හල්ලාටිය ජාතකය
2514. පෙරැ හල්ලාටිය නම් රජෙක් විය. හේ රට හැර මුව දඩයමට ගියේ ය. මනාව පිපුණා වූ කිඳුරන්ගෙන් ගැවසීගත් ගන්‍ධමාදන නම් උතුම් පර්‍වතයට ගියේ ය.
2515. හෙතෙම සුනඛ සමූහයා වළකා දුනු හියවුරු බහාතබා වචනයක් කියනු (බණනු) කැමැත්තේ කිඳුරෝ යම් තැනෙක්හි සිටියාහු ද එහි එළැඹියේ ය.
2516. හේමන්ත ඍතුවගේ අවසන්හි හේමවත නම් ගං ඉවුරෙහි සිටියා වූ තෙපි මෙහි කුමක් ගැන නිතර කතා කරන්නහු ද? මිනිස් සිරුරබඳු සිරුරු ඇති තොප අතින් මෙ කරුණ අසමි. තෙපි මිනිස් ලෙව්හි කෙසේ නම් හඳුන්වන්නහු ද? කියා යි.
2517. සබඳ වැද්දාණෙනි, අපි මේ මල්ලපණ්ඩරක - ත්‍රිකූට යන පර්‍වත ද සිහිල් දිය ඇති ගංගාවන් ද අනුව හැසිරෙමු. මිනිසුන් හා සමාන මෘගයෝ වන අපි කිම්පුරිසයෝ යයි හඳුන්වනු ලබමු.
2518. තෙපි ඉතා දුකට පැමිණියාක් මෙන් වැලපෙන්නහු ය. ප්‍රියාව විසින් ප්‍රියයා වැළඳගන්නා ලද්දේ ය. මිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොප අතින් මේ කරුණ විචාරමි. නොසතුටු සිත් ඇත්තාහු කුමක් නිසා මේ වනයෙහි හඬවු ද?
2519. තෙපි ඉතා දුකට පැමිණියාක් මෙන් වැලපෙන්නහු ය. ප්‍රියාව විසින් ප්‍රියයා වැළඳගන්නා ලද්දේ ය. මිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොප අතින් මේ කරුණ විචාරමි. නොසතුටු සිත් ඇත්තාහු කුමක් නිසා මේ වනයෙහි විලාප කියන්නහු ද?
2520. තෙපි ඉතා දුකට පැමිණියාක් මෙන් වැලපෙන්නහු ය. ප්‍රියාව විසින් ප්‍රියයා වැළඳගන්නා ලද්දේ ය. මිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොප අතින් මේ කරුණ විචාරමි. නොසතුටු සිත් ඇත්තාහු කුමක් නිසා මේ වනයෙහි ශෝක කරවු ද?
2521. සබඳ වැද්දාණෙනි, අපි නො කැමැත්තමෝ ඔවුනොවුන් සිහි කරමින් එක රැයක් වියෝවැ වුසුම්හ. ඒ එක් රැය ගැන තැවෙමින් ඒ රැය නැවත නො එන්නී යයි ඒ එක රැය අනුව තැවෙන්නමෝ ශෝක කරමු.
2522. තෙපි යම්බඳු එක්රැයක් ගැන තැවෙන්නහු ද, එය නැසුණු ධනය හෝ පරලෝ ගිය පියා හෝ සිතා ඒ අනුව තැවෙන්නහු ද? මිනිස් සිරුරු බඳු සිරුරු ඇති තොපගෙන් මෙය විචාරමි. කෙසේ නම් වෙන්ව විසූහු ද කියා යි.
2523. වහා බස්නා දිය පහර ඇති නොයෙක් ගසින් වැසීගියා වූ පර්‍වත දෙකක් අතරින් බැස යන යම් මේ ගංගාවක් දක්නෙහි ද? මගේ ප්‍රිය තෙම මා ද පසුපසැ එනවා යයි හඟිමින් වර්‍ෂා කාලයෙහි ඒ ගඟ තරණය කෙළේ ය.
2524. මම වනාහි පිපීගිය අඟුනමල් ද කෝඩු මල් ද සත්පෙති දෑ සමන් ද නෙළීමි. මාගේ ප්‍රිය තෙමේ ද මල්මාලාබර ඇත්තෙක් වන්නේය. මම ද මල් මාලා ඇති ව ඔහු වෙත එළැඹෙන්නෙමැ යි සිතීමි.
2525. මම වනාහි පිපුණ රත්කරවුමල් ද ඇසළ ද පළොල් ද නිකමල් ද කඩා රැස් කෙළෙමි. මාගේ ප්‍රිය තෙමේ ද මල්මාලාබර ඇත්තෙක් වන්නේය. මම ද මල්මාලා ඇත්තී ඔහු වෙත එළැඹෙන්නෙමි යි කියා යි.
2526. තවද, මම වනාහි මනාව පිපීගිය සල්ගසක මල් නෙළා මාලාවක් කෙළෙමි. මාගේ ප්‍රිය තෙමේ මල්බර ඇත්තෙක් වන්නේය. මම ද මාලා ඇත්තී ඔහු වෙත එළඹෙන්නෙමි.