9. සෝමනස්ස ජාතකය
2539. ස්වාමීනි, කවරෙක් නුඹ වහන්සේට පහරදේ ද? කවරෙක් ආක්‍රෝශ කරයි ද? දොම්නසින් යුතුව නො සතුටු සිතැත්තේ කුමක් හෙයින් ශෝක කෙරෙහි ද? අද කවරකුගේ මවුපියෝ හඬද් ද? අද කවරෙක් නසන ලද්දේ පොළොවෙහි ශයනය කෙරේ දැ රේණු රජ තෙම ඇසීය.
2540. දේවයන් වහන්ස, නුඹ වහන්සේ දැක්මෙන් තුටුවෙමි. භූමිපාලය, නුඹ වහන්සේ බොහෝ කාලයෙකින් දකිමි. රේණු නම් රජතුමනි, නුඹ වහන්සේගේ පුත්‍රයා විසින් අසපුවට පිවිස අහිංසක වූ මම වෙහෙසට පමුණුවන ලද්දෙමි යි කූට ජටිලයා කීවේ ය.
2541. කඩුබඳනාලද දොරටුපාලයෝ යෙත්වා, චෞර ඝාතකයෝ අන්තඃපුරයට යෙත්වා. ගොස් ඒ සෝමනස්ස කුමාරයා නසා උතුම් හිස ගෙනෙත්වා. (රජ අණ කෙළේ ය.)
2542. යවන ලද රජුගේ දූතයෝ කුමරහුට මෙය කීහ. එම්බා රාජ කුමාරය, නුඹ වහන්සේ රජහු විසින් හැර දමන ලද්දහු ය. එහෙයින් වධයට පැමිණියහු ය.
2543. ඒ රාජපුත්‍ර තෙම අඬමින් දසැඟිලි එක් කොට ඇඳිලි බැඳ මම ද රජහු දක්නට කැමැත්තෙමි. ජීවත්වන්නා වූ මා ගෙන ගොස් රජුට දක්ව යි කීවේ ය.
2544. දූතයෝ කුමාරයාගේ වචනය අසා රජුට පෙන්වූහ. පුත්‍ර තෙමේ ද පිය දැක දුර දී ම මෙසේ කීවේ ය.
2545. මහරජාණන් වහන්ස, කඩු බඳනා ලද දොරටු පාලයෝ ආවාහු ය. මා නසන්නට චෞරඝාතකයෝ ආවාහ. මෙහි මගේ කවර නම් අපරාධයෙක් ඇද්දැයි විචාරනලද මට අද ඒ කරුණ ප්‍රකාශ කරනු මැනැවි.
2546. සවස ද උදය ද දියට බැසීම කරයි. නො පමා වූයේ හැමකල්හි ගිනි පුදයි. එබඳු සංයම වූ ඒ බ්‍රහ්මචාරී තාපසයාට නුඹ කුමක් හෙයින් ගෘහපතියායි කීයෙහි ද? (කියා රජ ඇසීය.)
2547. දේවයන්වහන්ස, තල් ද අලමුල් ද ඵලවර්‍ග ද යන විවිධ වස්තූහු මොහුට ඇත්තාහ. මෙතෙම ඒවා රකී. නො පමාවූයේ ඒ වස්තූන් ආරක්‍ෂා කෙරෙයි. එහෙයින් මේ බ්‍රාහ්මණතෙම ගෘහපති නම් වේ’ යි කුමාරයා කීය.
2548. කුමාරය, මොහුට නොයෙක් වස්තූහු ඇත්තාහ. ඒවා රකී. නො පමාවූයේ ආරක්‍ෂා කරයි. එහෙයින් (මේ) බ්‍රාහ්මණතෙම ගෘහපතියෙක යන මේ සත්‍යයක් ම නුඹ කීයෙහිය.
2549. නියම්ගම්වැසියන් සහිත මෙහි රැස්වූ සියලු දනව්වැසි පිරිස ම මාගේ වචනය අසත්වා. මේ අඥාන වූ රජතෙම අඥාන වූ තවුසාගේ වචනය අසා නිකරුණේ මා මරවා යී (කුමරා) කීය.
2550. දැඩි වූ මුල ඇතිව මහත්ව වැඩුණු කල්හි අතුපතර හටගත් උණ පඳුර වෙන් කොට අදින්නට නොපිළිවන. මහරජාණන් වහන්ස, නුඹ වහන්සේගේ පා වඳිමි. දේවයන්වහන්ස, මම පැවිදි වෙමි. අනුදැන වදාළ මැනවි.
2551. කුමාරය, මහත් ප්‍රයෝජන ඇත්තා වූ සම්පත් අනුභව කරව. තොපට හැම ඉසුරු ම දෙමි. තෙපි අද ම කුරුරට වැසියන්හට රජවවූ. පැවිදි නොවවු. පැවිද්ද වනාහි දුක් වන්නේය.
2552. දේවයන්වහන්ස, මෙහි නුඹ වහන්සේගේ කවර සම්පතක් ඇත්තේ ද? පෙර මම දෙව්ලොව සිත්කලු රූපවලින් ද ශබ්දවලින් ද රසවලින් ද සුවඳින් ද ස්පර්‍ශයෙන් ද සිත් අලවා විසීමි.