5. රෝහන්තමිග ජාතකය
2432. චින්තකය, මේ රැළෙහි වූ මුවෝ මරණයට බියවූවෝ පැනදුවති. තොපි ද යව, බලාපොරොත්තු නොවව. තොප සමග ඒ මුවෝ ජීවත් වන්නාහ. මෙසේ රෝහන්ත මෘග තෙම කීයේ ය.
2433. රෝහන්තය, මම නොයමි. මගේ හෘදය ශෝකයෙන් අදිනු ලැබේ. මම තොප නො හරිමි. මෙහි ම ජීවිතය හරනෙමි.
2434. ඇස් අන්‍ධ වූ පිළිදැගුම් කරන්නකු නැති ඒ අපගේ මවුපියෝ ඒකාන්තයෙන් මැරෙන්නාහ. එහෙයින් සහෝදරය, තෙපි එහි යව, බලාපොරොත්තු නො වව. තොප සමග ඒ මවුපියෝ ජීවත් වන්නාහු ය.
2435. රෝහන්තය, මම නො යමි. මාගේ හෘදය ශෝකයෙන් ඇදගනී. මළපුඩුවෙහි බැඳුණු තොප හැර නො යමි. ජීවිතය මෙහි ම හරනෙමි.
2436. බියවනසුලු තැනැත්තිය, වහා යව. පැනදුවව. මම අයෝමය කණුවක ඇට වූ මළ පුඩුවෙක්හි බැඳුණෙමි. තෙපි ද යව. බලාපොරොත්තු නො වව. තොප සමග ඒ මුවෝ ජීවත් වන්නාහු යයි බෝසත් තෙම සුනන්‍දා නම් නැගණියන්ට කීයේ ය.
2437. පින්වත් රෝහන්තය, මම නො යමි. මාගේ හෘදය ශෝකයෙන් ඇදගනී. මළ පුඩුවෙහි බැඳුණු තොප මම නො හරිමි. මෙහි ම ජීවිතය හරනෙමි යි සුනන්‍දා මුවදෙන කීවා ය.
2438. අන්‍ධ වූ පිළිදැගුම් කරන්නකු නැති ඒ අපගේ මවුපියෝ ඒකාන්තයෙන් මැරෙන්නාහ. එහෙයින් සහෝදරිය, තෙපි ද මෙතැනින් යව. බලාපොරොත්තු නො වව. තොප සමග ඒ මවුපියෝ ජීවත්වන්නාහ යි රෝහන්ත තෙම කීයේ ය.
2439. පින්වත් රෝහන්තය, මම නො යමි. මාගේ හෘදය ශෝකයෙන් ඇදගනී. මළ පුඩුවෙහි බැඳුණු තෙපි මම නො හරිමි. මෙහි ම ජීවිතය හරනෙමි. සුනන්‍දා නම් මුවදෙන කීවාය.
2440. රෞද්‍ර ස්වභාව ඇත්තේ ආවුධ සහිත වැ ඒ මේ වැදිතෙම එයි. හේ අද අපට හීයෙන් ද අඩයටියෙන් ද හිංසා කරන්නේ ය. (එහෙයින්) වහා පැනයව යි මුවරජ තෙම කීයේ ය.
2441. බියෙන් පෙළුණා වූ බියෙන් තැතිගත්තා වූ බියවනසුලු වූ ඒ මුවැත්තිය මොහොතක් කල් පැන ගොස් ඉතා දුෂ්කර වූවක් කළා. මරණය සඳහා නැවැත පෙරළා ආවා ය.
2442. බන්‍ධනයෙන් මිදුණාහු මළ පුඩුවෙහි බැඳුණු තොප සමීපයෙහි හිඳිති. ජීවිතය හේතුකොට ගෙන ද තොප හැරයන්නට නො කැමැති වෙති. මේ මුවෝ තොපගේ කවරහු වෙද්දැ යි වැදි තෙම ඇසුවේ ය.
2443. එම්බා වැදි පුත්‍රය, මොහු සමානකුස ඇත්තා වූ එක මව වෙත වැඩුණා වූ මාගේ සහෝදරයෝ වෙති. මොහු ජීවිතය හේතු කොටගෙන හෝ මා හැර යන්නට නො කැමැති වෙති යි මුවරජ තෙම කීයේ ය.
2444. එම්බා වැදි පුත්‍රය, පිළිදැගුම් කරන්නකු නැති අන්‍ධ වූ ඒ මවුපියෝ ඒකාන්තයෙන් ම මැරෙන්නාහ. එහෙයින් ඔවුන් දෙදෙනාගේ ද අප තිදෙනාගේ ද යන අප පස් දෙනකුගේ ජීවිත දෙනු මැනැවි. මාගේ සහෝදරයා මුදාහරිනු මැනැවැ යි චින්තක නම් මෘග තෙම කීයේ ය.
2445. එම්බා මුවරජ, ඒ මම මවුපියන් පෝෂණය කරන්නා වූ මුවරජහු මුදා හරනෙමි. මරණයෙන් මිදුණා වූ මුවරජ දැක මවුපියෝ සතුටු වෙත්වා යි වැදි තෙම කීයේ ය.
2446. එම්බා වැදිපුත්‍රය, මම අද මරණයෙන් මිදුණා වූ මුවරජ දැක යම්සේ සතුටුවන්නෙම් ද, එසේ ම නුඹ ද සියලු නෑයන් සමග සතුටුවෙහිවා යි චිත්‍රක තෙම අනුමෙවෙනි වශයෙන් ප්‍රකාශ කෙළේ ය.
2447. පුත්‍රය, ජීවිතය මරණයට ළං කොට පැමිණ වූ කල්හි (මරණාසන්නයේ දී) කෙසේ මිදුණෙහි ද? පුත්‍රය, වැදි තෙම නුඹ මළ පුඩුවෙන් කෙසේ මුදා හැරියේ ද?