4. සිරිමන්‍ද ජාතකය
2411. එම්බා සේනකය, ප්‍රඥාවෙන් යුතු වූ සම්පතින් තොර තැනැත්තා ද යශසින් යුතු වූ ප්‍රඥාවෙන් තොර තැනැත්තා ද යන මේ දෙදෙනා අතුරෙන් කවරෙක් උතුමැ යි පණ්ඩිතයෝ කියද්ද? යන මේ කරුණ මෙහි දී නුඹගෙන් අසමි යි රජ තෙම කීවේ ය.
2412. මහරජ, පණ්ඩිතයෝ ද මෝඩයෝ ද ශිල්ප දන්නෝද ශිල්ප නො දන්නෝ ද උසස් ජාති ඇත්තෝ ද යන සියල්ලෝ ද පහත් ජාතික සම්පත් ඇත්තහුගේ මෙහෙකරුවෝ වෙත්. මේ කරුණ ද දැක ප්‍රඥා ඇත්තා නිහීන ය. සම්පත් ඇත්තා ම ශ්‍රේෂ්ඨ ය යි කියමි යි සේනක තෙමේ කීවේ ය.
2413. අලාමක ප්‍රඥා ඇති සියලු ධර්‍මයන් දක්නාසුලු මහෞෂධය, ඔබ ද විචාරමි. අඥාන වූ සම්පත් ඇත්තහු ද පණ්ඩිත වූ සම්පත් නැත්තහු ද යන මේ දෙදෙනා අතුරෙන් කවෙරෙක් ශ්‍රේෂ්ඨ යයි පණ්ඩිතයෝ කියද්දැ යි මෙහි දී අසමි යි රජ තෙම කීයේ ය.
2414. මේ ලෝකයෙහි ඓශ්වර්‍ය්‍යය ම ශ්‍රේෂ්ඨ යි හඟිමින් අඥාන තෙමේ පව්කම් කරයි. මෙලොව ගැන පමණක් පෙනෙන පරලොව ගැන නො පෙනෙන අඥාන තෙමේ දෙලොවෙහි ම පරාජය ම ගනියි. (ලබයි.) මේ කරුණ ද දැක නුවණැත්තේ ම ශ්‍රේෂ්ඨ ය. සම්පත් ඇත්තා වූ අඥානයා උතුම් නො වේ ය යි මම කියමි යි. මහෞෂධ තෙමේ කීවේ ය.
2415. මහරජ, මේ ශිල්පය සම්පත් නො දරයි. ශිල්ප දන්නා පමණක් මුත් නෑයන් ඇත්තේ නො වෙයි. ශරිරාවකාශ ඇත්තේත් නො වෙයි. කෙළ වැගිරෙන මුව ඇතිවැ සැප විඳින්නා වූ මේ ගොමරින්‍ද සිටුහු බැලුව මැනවි. ශ්‍රී තොමෝ ඒ ගොමරින්‍දයා භජනය කෙරෙයි. මේ කාරණය ද දැක නුවණැත්තා නිහීනය. සම්පත් ඇත්තා ම ශ්‍රේෂ්ඨය යයි මම කියමි යි සේනක තෙම කීයේ ය.
2416. මහරජ, මඳ නුවණැත්තේ සැප ලබා මත්වේ. දුකින් ස්පර්‍ශ කරන ලද්දේ මුළාවට යෙයි. ආගන්තුක වූ සුවදුක් දෙකින් ස්පර්‍ශ කරන ලද්දේ අව්වෙහි තබන ලද මත්ස්‍යයකු මෙන් සැලෙයි. මෙයත් දැක නුවණැත්තේ ම ශ්‍රේෂ්ඨ ය. සම්පත් ඇති බාලයා එසේ ශ්‍රේෂ්ඨ නො වේ ය යි මම කියමි යි මහෞෂධ තෙම කීය.
2417. මහරජ, වනයෙහි මිහිරිපල ඇති රුක් සිසාරා පක්‍ෂීහු යම්සේ හැසිරෙද්ද, එසේ ම ආඪ්‍ය වූ ධන සහිත වූ සම්පත් ඇති පුද්ගලයා ඇසුරු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය තකා බොහෝ දෙන ආශ්‍රය කරත්. මේ කාරණය දැක නුවණැත්තා උතුම් නො වේ. සම්පත් ඇත්තේ ම උතුම් වේ යයි මම කියමි යි සේනක තෙම කීය.
2418. මහරජ, අඥාන වූ බලවතා යහපත් නොවේ. හේ සාහසික ලෙස ධනය ලබයි. පසුව නිරයපාලකයෝ අඬන්නා වූ ම ඔහු රුදුරු නිරයට ඇද ගනිති, මේ කාරණය ද දැක නුවණැත්තා උතුම් වෙයි. සම්පත් ඇති බාලයා එසේ උතුම් නො වේය යි මම කියමි යි මහෞෂධ තෙම කීයේ ය.
2419. යම්කිසි ඇළ දොළවල් ගඟකරා ගළා බසිද්දී ඒ සියල්ලෝ ම පෙරැ පැවති නාමගෝත්‍ර හැරදමද්ද, මුහුදට ගලාබස්නා ගංගාව ද මුහුදට වැටුණු පසු ප්‍රකට නොවන්නී ද? එපරිද්දෙන් ම ලෝවැසි තෙම ඉසුරුමත් තැනැත්තා ප්‍රධාන කොට ඇත්තේය. මේ කරුණ ද දැක නුවණැත්තා නිහීන යැ, සම්පත් ඇත්තා ම උතුම්ය යි කියමි යි සේනක තෙම කීයේ ය.
2420. යම් ඒ මහාසාගරයක් නුඹ කීයෙහි ද? එයට හැම කල්හි ම නොගිණිය හැකි සංඛ්‍යාවක් ඇළ දොළ ගළා බසිත්. ඒ සාගරය නිතර මහාරළවේග ඇත්තේ වෙරළ නො ඉක්මවා ද?
2421. මෙපරිද්දෙන් ම අඥානයාගේ කථාවෙන් නුවණැත්තහු ඉක්මවා නොයත් (නුවණැත්තහු කරා පැමිණ බිඳෙත්.) සම්පත් තොමෝ ද කිසිකලෙකත් ප්‍රඥාවන්තයා නො ඉක්මවයි. මේ කරුණ ද දැන නුවණැත්තා ම ශ්‍රේෂ්ඨය. සම්පත් ඇති බාලයා එසේ ශ්‍රේෂ්ඨ නැතැයි කියමියි කීයේ ය.