14. අයොඝර ජාතකය
2689. සත්‍වතෙම යම් එක රැයක ප්‍රථමයෙන් මවුකුසැ වාසය කෙරේ ද? හෙතෙම වලාකුළක් මෙන් ඉදිරියට යයි. යමින් හේ ආපස්සට ගමන් නො කෙරෙයි.
2690. යුද්ධකරන්නා වූ ද, බලයෙන් යුක්ත වූ ද මනුෂ්‍යයෝ නොදිරන්නෝ නො වෙත්. නොමියන්නෝ නො වෙත්. ඒ සියල්ලෝ ම ජාති ජරාවන්ගෙන් උපද්‍රැතයහ. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
2691. ඉතා බිහිසුණු ස්වභාව ඇති සිවුරඟ සෙනග ගෙන රාෂ්ට්‍රාධිපති රජවරු බලාත්කාරයෙන් ජය ගනිති. මරහුගේ සෙනග ජය ගන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
2692. ඇත් - අස් - රිය - පාබළ යන සිවුරඟ සෙනගින් පිරිවරන ලද ඇතැමෙක් සතුරන්ගෙන් මිදෙති. ඔවුහු මරසෙනගින් මිදෙන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
2693. ඇත් - අස් - රිය - පාබළ යන සිවුරඟ සෙනගින් පිරිවරන ලද ශූර රජවරු පසමිතුරන්ගේ නුවරවල් බිඳිති. පසමිතුරන් නසති. ඔවුහු මරහුගේ බල බිඳින්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට පහළ වෙයි.
2694. ත්‍රිමද ගලිත හස්තීහු නුවරවල් මඩිති. ජනයා නසති. ඔවුහු මරහු මඩින්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
2695. නුවණැති ඉලක්කය නො වරදවා දුරවිදීමෙහි දක්‍ෂ වූ කෘතහස්ත ධනුර්ධරයෝ ඇත්තාහ. ඔවුහු මරහු විදින්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් මම “ධර්‍මයෙහි හැසිරෙමියි” යන මේ සිත මට ඇති විය.
2696. අනවතප්තාදී මහවිල් සත ද පර්‍වතයන් සහිත මහා වනයෝ ද ක්‍ෂය වෙත්. දිගු කලක් ඇවෑමෙන් ඒ සියල්ල ම ක්‍ෂය වෙයි. ඒ සියල්ල ම නස්නා කාලයට පැමිණ බිඳෙයි. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට ඇති වෙයි.
2697. මෙසේ ම මෙලොව නර නාරීන්ගේ ද සියලු ප්‍රාණීන්ගේ ද ජීවිතය චංචල වේ. සුරාධූර්‍තයකුගේ වස්ත්‍රය මෙන් ද ගං ඉවුරෙහි හටගත් ගසක් මෙන් ද සත්‍වයන්ගේ ජීවිතය ස්ථිර නොවේ. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට පහළ වෙයි.
2698. ළදරුවෝ ද වෘද්ධයෝ ද තරුණයෝ ද සිත්‍රීහු ද පුරුෂයෝ ද උඝතොබ්‍යඤ්ජනකයෝ ද යන සියල්ලෝ ම ගස්වල ගෙඩි මෙන් ශරීරභේදයෙන් වැටෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.
2699. මේ සත්‍වයන්ගේ වයස කෘෂ්ණ පක්‍ෂයෙහි පිරිහී ශුක්ල පක්‍ෂයෙහි වැඩෙන්නා වූ සඳ මෙන් නොවේ. යමක් ඉක්මැ ගියේද දැන් එය ගියේ මැ යි. ජරාජීර්‍ණයාහට කාමගුණයන්හි ඇල්මෙක් නැති. සැපතක් නම් කොයින් ද? එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ සිත මට පහළ වෙයි.
2700. යක්‍ෂයෝ ද පාංශුපිශාචයෝ ද ප්‍රේතයෝ ද කිපුණාහු මිනිසුන්හට ආවේශ වෙති. ඔවුහු මරුහට ආවේශ වන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.
2701. යක්‍ෂයන් ද පාංශුපිශාචයන් ද ප්‍රේතයන් ද කිපුණු කල්හි බලිකර්‍මාදිය කිරීමෙන් ඔවුන් පහදවති, මරුවා නො පහදවත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට පහළ වෙයි.
2702. රාජාපරාධ කරන්නාවූ ද රාජ්‍යදූෂකවූ ද ජනයා පෙළන්නාවූ ද මිනිසුන්ගේ අපරාධ දැන රජවරු දඬුවම් කරත්. ඔවුහු මරහුට දඬුවම් කරන්නට උත්සාහ නො කෙරෙත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.
2703. රාජාපරාධකරුවෝ ද රාජ්‍ය දූෂකයෝ ද ජනයා පෙළන්නෝ ද (සාක්‍ෂිවලින් තමන්ගේ නිරපරාධී බව ප්‍රකාශ කරවා) අස් වැසීමක් ලබති. මරහු (එසේ සාක්‍ෂිවලින්) නිරපරාධ බව ප්‍රකාශ නො කරවත්. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙමි” යන මේ අදහස මට ඇති වෙයි.
2704. ක්‍ෂත්‍රියයෙකැ බ්‍රාහ්මණයෙකැ ආඪ්‍යයෙකැ බලැත්තෙකැ තෙදැත්තෙකැයි මාරයාගේ අපේක්‍ෂාවක් නැත්තේය. එහෙයින් “ධර්‍මයෙහි හැසිරෙන්නෙමි” යන අදහස මට පහළ වෙයි.