13. හත්ථීපාල ජාතකය
2664. ශ්රේෂ්ඨවර්ණ ඇති මහත් වූ ජටාවක් ඇති තවුස් පිරිකර දරන මැලියම් සහිත දත් ඇති රජසින් යුත් හිස ඇති බමුණකු ඒකාන්තයෙන් බොහෝ කලකින් දකිමි.
2665. සුචරිත කොටස්හි ඇලුණු කසාවත් හැන්දා වූ වැහැරි සිවුරක් පෙරැවූ ඍෂියකු ඒකාන්තයෙන් බොහෝ කලකින් දකිමි.
2666. පින්වත් තෙමේ අපගේ ආසන ද ජලය ද පය ගල්වන තෙල් ද පිළිගනීවා, මේ ආසනාදි පිදිය යුතු දෑ පින්වත්හු විචාරමු. අපගේ මේ පිදිය යුතු දෑ පිළිගැනීම කෙරේවා.
2667. දරුව, වේදයන් හදාරා වස්තුව සොයාගෙන ගෙහි පුත්රයන් වස්වා ගන්ධ රස ඇතුළත් කොට ඇති සියලු පංචකාමයන් අනුභව කොට වනයට යෑම යෝග්ය වේ. එසේ වූ තපස්වී තෙම බුද්ධාදීන් විසින් පසස්නා ලද්දේ වෙයි.
2668. වේදයෝ සත්ය නොවෙත් ධන ලාභය ද නිෂ්ඵල වේ. පුත්ර ලාභයෙන් ජරාව නො වැනැසේ. ගන්ධයන් හා රසයන් ඇතුළත් කොටැති සියලු පංචකාමයන්ගෙන් මිදීම ම යහපතැයි සත්පුරුෂයෝ පවසති. ස්වකීය කර්මයෙන් ම ඵලය ඉපදීම වේයයි කීයේය.
2669. ඒකාන්තයෙන් ම නුඹගේ මේ වචනය සත්යය. ඵලයාගේ උපත ස්වකීය කර්මයෙන් වේ. නුඹගේ මේ ජරායෙන් ජීර්ණ වූ මවුපියෝ වර්ෂ සියයක් ගතව ගිය නීරෝග වූ නුඹ දක්නාහුය.
2670. මහරජ, යමකුගේ මරණය හා යහළුබවෙක් වන්නේ ද, නරවීර ශ්රේෂ්ඨය, යමකුගේ ජරාව හා මිත්රත්වයකුත් වන්නේ ද යමෙක් වනාහි මම කිසි කලෙකත් නො මැරෙමියි දන්නේ ද වර්ෂ සියයක් ගතව ගිය නීරෝග වූ ඔහු දකිමි.
2671. යම්සේ පුරුෂයෙක් දියෙහි නැවක් මෙහෙයාද ඉවුරටත් එය පමුණුවාද එසේ ම ව්යාධියටත් ජරාවටත් නිතර සත්වයා මරුවසඟයට පමුණුවන්නේය.
2672. කාමයෝ වනාහි ලග්ගවාලන ස්වභාව ඇති හෙයින් මඩට බඳු උපමා ඇත්තේය. සිත් ඇදගන්නේය. තරණයට දුෂ්කරයහ. මරු වසඟයට පමුණුවන්නාහ. මෙබඳු කාමසංඛ්යාත ලැගෙන මඩෙහි ද, ගැලෙන මඩෙහි ද ගිලුණු ලාමක ස්වභාව ඇති සත්වයෝ නිර්වාණ සංඛ්යාත පරතෙරට යන්නට නො සමත් වෙත්.
2673. මහරජ, මාගේ මේ ආත්ම භාවය තෙම පෙර අස් ගොව්වන් සමග එක්ව මං පැහැරුම් ආදී බොහෝ සැහැසිකම් කෙළේය. ඒ මේ ආත්මභාවය එහි විපාක ගන්නා ලදී. මට එයින් මිදීමෙක් නැත. දැන් කායවාග්ද්වාරයන් අවුරාගෙන එය ආරක්ෂා කරන්නෙමි. මාගේ මේ ආත්මය නැවත සැහැසිකම් නො කෙරේවා කියාය.
2674. මහරජ, යම්සේ පුරුෂයෙක් තෙම නැති වූ ගවයකු නො දක්නේ සොයා ද ඒසුකාරී නම් රජුනි, මෙපරිද්දෙන් ම මගේ ප්රව්රජ්යා සංඛ්යාත අර්ත්ථය තෙම නැතිවූයේ වෙයි. මහරජ, ඒ මම කෙසේ නම් එය නො සොයම්දැයි කීයේය.
2675. මහරජ, අද කටයුතු දේ හෙටයයි ද හෙට කටයුතු දේ අනිද්දායයි ද කල් දමන පුරුෂ තෙම පිරිහේ. යමෙක් නොපැමිණියේ ද මෙය නැත්තේය යි දැන උපන්නා වූ කුසල් අදහස කවර නම් පණ්ඩිතයෙක් දුරු කරන්නේ දැයි ගොපලු කුමාරතෙම කීයේය.
2676. හාවභාව විලාසයෙන් මත් වූවක මෙන් හැසිරෙන වැටකෙයියා මල්පෙති බඳු ඇස් ඇත්තා වූ තරුණ කුමරියක දකිමි. කාමසම්පත් අනුභව නො කළා වූ පළමු වයස්හි සිටියා වූ ඒ කුමරිය මෘත්යුමාරයා හැරගෙන යේ.
2677. තරුණ වූ මනාව හටගත් ශෝභන මුඛයක් ඇති දැකුම් කලු රන්වන් පැහැති තරුණ කොමඩු කෙසරු මෙන් ගැවසී ගත් රවුළු ඇති කුමාරයෙක් වේද, මෙබඳු කුමාරයෙක් ද මරුවසඟයට යන්නේය. එහෙයින් ඉන් පළමුව කාමයන් හා ගිහිගේ අත්හැර පැවිදිවන්නෙමි. දේවයන් වහන්ස, මට පැවිද්දට අවසර දෙනු මැනැවි යි අජපල් කුමාරතෙම කීයේ ය.
2678. අතුවලින් ගසයයි නම ලබයි. පහව ගිය අතු ඇත්ත කණුවය යි කියත්. පින්වත් වාසෙට්ඨි ගෝත්ර ඇති බැමිණිය, පහව ගියා වූ පුත්රයන් ඇති මට දැන් පැවිදිවීමට කාලය පැමිණ තිබෙයි. පුරෝහිත බ්රාහ්මණතෙම කීයේ ය.
2679. අහසෙහි නො ගැටෙමින් ගමන් කරන කොස් ලිහිණියන් මෙන් ද, වැසි කල් අවසන්හි අදින ලද දැල පලාගෙන යන හංසයන් මෙන් ද මගේ පුත්රයෝත් සැමියාත් කාම සම්පත් නමැති දැල බිඳගෙන යති. ඒ මම දරුවන් ගියමඟ අනුව කිම නොයන්නෙම් ද?
2680. මේ ලිහිණි පක්ෂීහු මස් අනුභව කොට වමාරා බැහැර යෙති. යම් කෙනෙකුන් අනුභව කොට නො වැමෑරුවාහු ද ඔවුහු මගේ අතට පැමිණියාහුය.