12. පස්පඬි පැනය
2642. මෙහි රැස් වූ පස් පඬිවරුනි, මට ප්‍රශ්නයෙක් වටහයි. එය අසවු නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහසක් නම් කවරකුහට එළිදරව් කළයුතු වන්නේ දැ යි රජ තෙම ඇසී ය.
2643. මහරජ, නුඹ වහන්සේ අපට එළිදරව් කරනු මැනව. නුඹ වහන්සේ වනාහි අපගේ ස්වාමියා ද බර උසුලන තැනැත්තේ ද වන්නාහු ය. එහෙයින් පළමු කොට නුඹ වහන්සේ ම මෙය කියන සේක්වා, මහරජ, නුඹ වහන්සේගේ කැමැත්ත ද රුචි කරුණු ද දැනගෙන අනතුරු ව පඤ්ච පණ්ඩිතයෝ ප්‍රකාශ කරත් යී සේනක තෙම කීවේ ය.
2644. යම් භාර්‍ය්‍යාවක් සිල්වත් ද, අනුන් වසඟයෙහි නො පවතී ද, සැමියාගේ කැමැත්ත අනුව ජීවත් වන්නී ද, මනවඩන්නී ද එවැනි භාර්‍ය්‍යාවට නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එළිදරව් කළයුතු වන්නේ ය.
2645. යමෙක් පිහිටක් නොමැතිව කරදරයට පත් වූ ගිලනා හට පිහිට වේද නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එබඳු යහළුවාට එළිදරව් කරන්නේ ය.
2646. ජ්‍යේෂ්ඨ වූ හෝ මධ්‍යම වූ හෝ කණිෂ්ඨ වූ හෝ යම් ඒ සහෝදරයෙක් තෙම ශීලයෙන් යුක්ත වූයේ ස්ථිර ස්වභාව ඇත්තේ වේ ද, නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ එබඳු සහෝදරයාට ප්‍රකාශ කරන්නේ ය.
2647. යමෙක් ඒකාන්තයෙන් පියාගේ සිත් වූ පරිදි ක්‍රියා කෙරේ ද පියා හා සමගුණ ඇත්තේ වේ ද, අලාමක ප්‍රඥා ඇත්තේ ද එබඳු පුත්‍රයාට නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ රහස් කරුණ ප්‍රකාශ කරන්නේ ය.
2648. දෙපා ඇත්තවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ මහරජතුමනි, යම් මවක් කැමැත්තෙන් හා ප්‍රේමයෙන් පුතකු පෝෂණය කරන්නී ද, නින්‍දා කටයුතු කරුණක් හෝ ප්‍රශංසා කටයුතු කරුණක් හෝ සැඟවිය යුතු කරුණ ඒ මවට ප්‍රකාශ කරන්නේ ය.
2649. සැඟවියයුත්ත සැඟවීම ම යහපති. සැඟවියයුත්ත එළිදරව් කිරීම ප්‍රශස්ත නො වේ. ප්‍රාඥතෙම අදහස මුදුන් පැමිණෙන තුරු ඉවසා සිටින්නේ ය. මුදුන් පැමිණි අදහස් ඇත්තේ ඒ කරුණ සුවසේ කියන්නේ ය.
2650. උතුම් මහරජතුමනි, නුඹ වහන්සේ කුමක් හෙයින් දොම්නස් වන්නාහු ද? දෙපා ඇත්තවුන්හට ශ්‍රේෂ්ඨය, නුඹ වහන්සේගේ මේ වචනය නො අසමු. කුමක් සිතමින් දොම්නස් වන්නහු ද? දේවයන් වහන්ස, ඒකාන්තයෙන් මාගේ අපරාධයෙක් ඇත්තේ ද? කියා උදුම්බරා දේවිය ඇසූ ය.
2651. බොහෝ නුවණැති මහෞෂධ පණ්ඩිත තෙමේ මැරිය යුතු යයි මා විසින් මරණයට නියම කරන ලද ඒ කරුණ සිතමින් දොම්නස් වෙමි. දේවිය තීගේ වරදෙක් නැතැ යි රජ තෙම කීයේ ය.
2652. බොහෝ නුවණ ඇති මහෞෂධය, ඊයේ සවස ගිය නුඹ දැන් එන්නෙහිය. තාගේ සිත කුමක් අසා කුමකට සැක කෙරේ ද? මහත් ප්‍රඥා ඇත්ත, නුඹට කවරෙක් කුමක් කීයේ ද? ඒ වචනය මට කියව. මම එය අසමියි රජතෙම කීයේ ය.
2653. මහරජ, මහා ප්‍රඥා ඇති මහෞෂධ පණ්ඩිත තෙමේ මැරිය යුතුයයි නුඹ වහන්සේ විසින් පඬිවරුන් සමග මන්ත්‍රණය කරන ලද, එය රාත්‍රියෙහි කවරෙකුට කියන ලද ද? නුඹ වහන්සේ වනාහි රහසිගත ව භාර්‍ය්‍යාවට කීසේක. ඒ සැඟවිය යුතු කරුණ ප්‍රකට කරන ලද බව මා විසින් අසන ලදී.
2654. සේනකතෙම සල් උයන්හි අසභ්‍ය වූ යම්බඳු පාපකර්‍මයක් කෙළේ ද, එය රහසිගතව යහළුවෙකුට ම කීයේ ය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබිණි.
2655. මහරජ, නුඹ වහන්සේගේ පුක්කුස නම් රාජපුරුෂයා හට රජුන් විසින් ළං නොවිය යුතු කුෂ්ඨ රෝගයෙක් තිබේ. හෙතෙම රහසිගතව එය සහෝදරයාට කීයේය. ප්‍රකට කළ ඒ රහස මට අසන්නට ලැබිණි.