2034. ඍෂිතුමනි, සියලු දෙනාට පළමු වැ ගෙනෙන ලද මම සුරුචි රජුගේ බිරිඳ වන අගමෙහෙසිය වෙමි. යම් කලෙක මා සුරුචි රජ ගෙනායේ ද එ තැන් සිට දසදහසක් අවුරුදු තනි ව මෙහි විසීමි.
2035. ඍෂිතුමනි, ඒ මම විදේහ ඊට මියුලු නුවර සුරුචි රජතුමා කයින්, වචනයෙන් හෝ සිතින් ඉදිරියේ හෝ රහසිගත ව ඉක්මවා සිතූබව නො දනිමි.
2036. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මාගේ හිස සතට පැළේවා.
2037. ඍෂිතුමනි, මන වඩන මාගේ සැමියාගේ මව්පියන් මා හික්මවමින් යම්තාක් කල් ජීවත් ව සිටියාහු ද, (ඒ තාක්)
2038. ඒ මම අහිංසාවෙහි ඇලුණී කුශල ධර්‍මයන්හි හැසිරෙන්නී දිවා රැයේ ලැසි නො වී සකසා ඔවුන්ට උවටැන් කෙළෙමි.
2039. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මගේ හිස සතට පැළේවා.
2040. ඍෂිතුමනි, සමාන බිරියෝ සොළොස් දහසක් වෙත්. කිසිකලෙක ඔවුන් කෙරේ ඊර්‍ෂ්‍යාවක් හෝ ක්‍රෝධයක් මට නො වීය.
2041. ඔවුන්ට හිත සිතින් සතුටු වෙමි. මට කිසිවකුත් අප්‍රිය නො වීය. හැම ද සියලු සපත්තීන්හට මට මෙන් අනුකම්පා කරමි.
2042. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මාගේ හිස සතට පැළේවා.
2043. දාසයන් කම්කරුවන් පණිවිඩ කරුවන් සහ තමා නිසා ජීවත්වන සෙස්සන් ද හැම කල්හි සතුටු ඉඳුරන් (ප්‍රිය බැල් ම හා කතා) ඇති වැ (ඔවුන්ගේ) සත්‍යභාවය දැනැ පෝෂණය කරමි.
2044. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුත්‍රයෙක් උපදීවා. බොරු කියන්නී නම් මාගේ හිස සතට පැළේවා.
2045. ශ්‍රමණයන් ද බමුණන් ද සෙසු යාචකයන් ද පිරිසුදු සිතැති ව හැම කල්හි ආහාර පානයෙන් සංග්‍රහ කරමි.
2046. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මගේ හිස සතට පැළේවා.
2047. දිනපතා පන්සිල්හි පිහිටි මම, තුදුස්වක, පසළොස්වක, අටවක සහ ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂය යන දවස්හි අංග අටකින් යුතු පෙහෙවස් සමාදන් වෙමි.
2048. ඍෂිතුමනි, මේ සත්‍ය වචනයේ බලයෙන් මට පුතෙක් උපදීවා. බොරු කියන්නී නම් මගේ හිස සතට පැළේවා.
2049. යසස් ඇති රාජපුත්‍රිය, (රාජදේවිය) ඔබ යම් ගුණ රැසක් ප්‍රකාශ කළෝ ද ඒ සියලු ගුණයෝ ඔබ කෙරේ විද්‍යමාන වෙති.
2050. ක්‍ෂත්‍රිය වූ කුලීන වූ අතිජාත වූ පිරිවර සහිත වූ විදේහ රටවාසීන්ට ධර්‍මරාජ වූ (දැහැමිව රාජ්‍යය කරන) පුත්‍රයෙක් ඔබට උපදින්නේ ය.
2051. තවුස් වෙස් ගත් රජස්දැලි සහිත වූ සිරුර ඇති ව හිස් වූ අහසේ සිටැ යමෙක් මගේ සිත් ගන්නා මනහර බස් බෙණේ ද.
2052. ඔබ දෙව්ලොවින් පැමිණි දෙවියෙක් ද? මහත් ඍද්ධි ඇති ඍෂිවරයෙක් ද, මෙහි පැමිණි ඔබ කවර කෙනෙක් දැ යි තමා මට කියව.
2053. සුධර්‍ම දිව්‍ය සභාවට රැස් වූ දේව සමූහයා යමකු වඳිත් ද දහසක් ඇස් ඇති ශක්‍ර නම් වූ ඒ මම තොප වෙත ආවෙමි.
2054. මේ ලෝකයෙහි දැහැමි පැවතුම් ඇති ව නුවණින් හා සීලයෙන් යුතුව නැදිමයිලන් දෙවියන් ලෙස සිතා බුහුමන් දක්වන පතිව්‍රතා ගුණයෙන් යුක්ත ඒ ස්ත්‍රීහු වෙත් ද.
2055. එ බඳු ගුණ ඇති නැණවත් පවිත්‍ර ක්‍රියා ඇති මනුෂ්‍ය ස්ත්‍රිය දැකීමට අමනුෂ්‍ය වූ දෙවියෝ පැමිණෙත්.
2056. සොඳුර ඔබ ද පෙරැ පුරුදු කළ සුචරිත ධර්‍ම නිසා මෙ ලොවැ රජ කුලයේ ඉපිදැ සියලු සම්පතින් දියුණු වූවාහු ය.
2057. රාජපුත්‍රිය, ඔබ දෙව්ලොවෙහි ඉපදීම ද මෙලොවැ මනුෂ්‍ය වැ කීර්තිධර වීම ද යන මෙය දෙ ලොවැ ජයග්‍රහණය වේ.
2058. නැණවතිය, ඔබ සැපවත් ව තම ගුණදම් බොහෝ කල් රකුව. ඒ මම දෙව්ලොව යමි. ඔබේ දැක්ම මට ප්‍රිය ය.
6. සුරුචි ජාතක යි.