2135. ලෝකයෙහි ඒකාන්තයෙන් ම ලොමුදහ ගන්වන්නා වූ පුදුම උපදවන්නා වූ දෙයක් උපන්නේ ය. (පහළවිය) යසස් ඇත්තා වූ වේදේහ රජුට දිව්ය රථයක් පහළ විය.
2136. දිව්ය රථාචාර්ය්ය වූ මහත් ඍද්ධි ඇත්තා වූ මාතලි දිව්ය පුත්රයා මියුලු නුවර අධිපති වූ සාධීන රජුට ආරාධනා කෙළේ ය.
2137. දිසාධිපති වූ ශ්රේෂ්ඨ රජතුමනි, එනු මැනැවි. මේ රියට නගින්නේ මැනැවි. ශක්රයා සහිත තව්තිසා දෙව් ලොවැ දෙවියෝ ඔබ දකින්නට කැමැත්තෝ ය. ඒ දෙවියෝ (ඔබ) සිහි කරමින් ම සුදම් දෙව් සබේ සිටිති.
2138. ඉක්බිති සාධීන රජ තෙමේ උතුම් රියට නැංගේ ය. දහසක් අසුන් යෙදූ රියට නැග දෙවියන් වෙත ගියේ ය. දෙවියෝ පැමිණි රජු දැක සතුටු වූහ.
2139. මහරජ ඔබේ යහපත් පැමිණීමකි. තවද අපේ සමීපයට පැමිණීමකි. ශ්රේෂ්ඨ රජතුමනි, දේවරාජයා සමීපයේ හුන මැනවි.
2140. මියුලු නගරයට අධිපති වේදේහ රජ (සමග) ශක්රයා ද සතුටු විය. ශක්රයා කාමසම්පත්තියෙන් ද ආසනයෙන් ද (රජු) පැවැරී ය.
2141. රජතුමනි, කාම සම්පත් සිය වසඟයෙහි පවත්වන දෙවියන් වසන තැනට පැමිණීම යහපත් වෙයි. කාමසම්පත් සියල්ල දියුණුව පවතින දෙවියන් අතර වාසය කරව. තව්තිසා දෙවියන්ට ඇති මිනිසුන්ට නො ලැබෙන කාමයන් අනුභව කරන්න.
2142. සක්දෙවිඳුනි, පෙරැ මම දෙව්ලොවට පැමිණ නෘත්ය ගීතයෙන් හා වාද්යයෙන් සිත රමණය කෙළෙමි. ඒ මම අද දෙව්ලොව නො ඇලෙමි. (මගේ) ආයුෂ ගෙවුණේ ද මරණය ළංවූයේ ද නැතහොත් මුළා වූයෙම් ද?
2143. උතුම් නරවිරුවාණෙනි, ඔබගේ ආයුෂ ගෙවුණේ නො වෙයි. ඔබේ මරණය දුර ය. ඔබ මුළා වූයෙහි ද නො වේ. යම් පුණ්ය කර්මයක් නිසා මෙහි සැප වින්දයුතු ද ඔබගේ ඒ පින් මඳ වූහ.
2144. දිසාධිපති රජතුමනි, දේවානුභාවයෙන් මෙහි වාසය කරව. තව්තිසා වැසි දෙවියන්ට අයිති වූ මිනිසුන්ට නො ලැබෙන කාමයන් අනුභව කරන්න.
2145. ඉල්ලා ගත් යානය යම්සේ ද ඉල්ලා ගත් ධනය යම්සේ ද, අනුන් දුන් පිනෙන් යමක් ලබා නම් එද මෙසේ දතයුතු ය.
2146. අනුන් දුන් නිසා යමක් ලැබේ ද එය මම නො කැමැත්තෙමි. තමා කළ පින් වේ ද එය මට උරුම ධනය යි.
2147. ඒ මම මිනිසුන් අතරට ගොස් දන් දීමෙන් ද කායාදි ද්වාරත්රයෙන් කරන පාපයෙන් වැළැකැ හික්මීමෙන් ද ඉන්ද්රිය දමනයෙන් ද යුක්ත වැ යමක් කොට සැපවත් වෙම් ද පසුව නො තැවෙම් ද එබඳු බොහෝ කුසල් කරන්නෙමී.
2148. මේ ඒ භූමිභාගයෝ වෙති. මනා බිසෝකොටු සහිත දිය සොරොව් ද වෙයි. මේ ඒ නිල්පැහැති දිය සහිත බිම් ය. මේ ගලායන නදී ද වෙත්.
2149. සක්වා ළිහිණින් පවත්වන මධුර නාද නිසා මනරම් වූ හෙල්මැල්ලෙන් හා පියුම් උපුල් වලින් ගැවැසි මේ පොකුණු වෙත්. මා හා හැසුරුණු යම් කෙනෙක් මෙ තැනට ප්රිය කළෝ ද ඔහු කවර දෙසකට ගියාහු ද?
2150. මේ උයනේ කෙත් ද බිම් කොටස් ද උයන් වතු ද වෙති. මේ වනයේ වාසස්ථාන ද වෙත්. ඒ පිරිවර ජනයා නො දක්නා මට සියලු දිසාවන් හිස් වූ සේ වැටහේ.
2151. සක්දෙව්රජ හමුවේ ද අනෙක් දෙවියන් හමුවේ ද සතර දිසාවන්හි ද බබළන විමානයෝ මා විසින් දක්නා ලදහ.
2152. සියලු කාමසම්පත්තියෙන් සමෘද්ධ වූ තව්තිසා දෙව් ලොව දිව්යවිමානයෙක මාගේ විසීම විය. මනුෂ්යයන්ට අයත් නො වූ කම්සැප අනුභව කරන ලදි.
2153. ඒ මම මෙ බඳු දෙව්සැප දැක පින් කරනු සඳහා මෙහි ආවෙමි මම කුශලධර්මයන්හි හැසිරෙමි. රාජ්යයෙන් ප්රයෝජන නැත්තෙක්මි.
2154. යම් මගෙකින් සම්මා සම්බුදුවරු ගමන් කෙරෙත් ද සර්වඥයන් වහන්සේ දෙසූ, බහා තැබූ දඬු හා සත් ඇතියන් යායුතු ඒ ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය මමත් පිළිපදින්නෙමි.
11. සාධීන ජාතක යි.