1848. කාලිංග නමැති සක්විති රජ තෙම ධර්‍මානුකූල වැ රාජ්‍යයානුශාසනා කරන්නේ මහානුභාව සම්පන්න ඇතා පිටින් ශ්‍රී මහා බෝධිය වෙත ගියේ ය.
1849. කාලිංග භාරද්වාජ නමැති පුරෝහිත බමුණා බිම විමසා බලා සක්විති වූ තාපස පුතකු වූ කලිඟු රජුට දොහොත් මුදුන් දී ගෙන මෙය කීය.
1850. රජතුමනි, මේ බිම බුදුවරයන් වහන්සේ වර්‍ණනා කළහ. ඇතාගේ පිටෙන් බසින්නේ මැනැවි. මෙහි අප්‍රමාණ බුදුවරු බුදුබව ලබා බබළති.
1851. මේ බිමෙහි තණ හා වැල් දකුණු දෙසට නැමී කැරැකී සිටිති. මේ බිම පොළොවට අලංකාර (දෙන) තැනකි. මහරජ, අප විසින් මෙසේ අසන ලද ය.
1852. සයුර අවසන් කොට පවතින සව් සතුන් දරා සිටින මේ පොළොවට මෙ තැන අලංකාරයකි. මහරජ, ඇතු පිටින් බැසැ නමදිනු මැනැවි.
1853. මව්පිය දෙ පසින් අභිජාත වූ (උපෝසථ කුලයේ ඉපැදුනු සක්විති රජහට පහළ වන) යම් ඇත්තු වෙත් ද ඒ ඇත්තු මේ පෙදෙසට මේ දක්වා නො පැමිණියාහු ය.
1854. තොපගේ ඇත් තෙම (උපෝසථ කුලයෙහි) අභිජාතය. දළැති ඒ උතුම් ඇතා (තමා) රුස්නා පරිද්දෙකින් මෙහෙයව. මෙතෙක් පෙදෙස ඇත්වාහනයෙන් එළැඹෙන්නට හැක්ක.
1855. කලිඟු රජ එය අසා, ලක්‍ෂණ ශාස්ත්‍ර දත් බමුණාගේ කීම පරිදි එය එසේ වන්නේ දැ යි අපි දැන ගනිමු යි (කියා) ඇතා මෙහෙයැවී.
1856. රජතුමා විසින් මෙහෙයැවුණු ඇතා කොස්වා ලිහිණියකු සේ නාද කොට මහ බරක් දරන්නකු ලෙස පසුබැස සිටියේ යැ.
1857. කාලිංග භාරදචාජ බමුණා ඇතා මළ බව දැනැ කලිඟු රජුට වහා කීය. මහරජ, ඇතා මළේ ය. අන් ඇතකු පිට නැගෙනු මැනැව.
1858. කලිඟු රජ එය අසා වහා අන් ඇතකු පිට නැගුනේ ය. රජ මාරු වූ කලැ මළ ඇත් තෙම එ තැනැ ම බිමට වැටීණි. ලක්‍ෂණශාස්ත්‍රය දත් බමුණාගේ කීම යම්සේ ද එසේ ඇතා මළේ ය.
1859. කලිඟු රජ කාලිංග භාරද්වාජ බමුණාට මෙය කීය. තෙපි ම සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සම්බුදු වෙවයි.
1860. ඒ කීම නො ඉවසන කලිඟු බමුණා මෙසේ කීය. මහරජ, අපි ලකුණු සතර දන්නෝ වෙමු. බුදුවරයෝ ම සියල්ල දත්තෝ ය.
1861. බුදුවරු ලකුණු සතරින් නොව සර්‍වඥතාඥානයෙන් හැම දේ දනිත්, ශිල්ප බලයෙන් අපි එකදෙශයක් දනිමු. බුදුවරයෝ සියල්ල මැනැවින් දත්තෝ ය: