1864. භූතාධිපති ශක්‍ර තෙම, අකිත්තී තවුසා දැකැ තවුසාණෙනි, ග්‍රීෂ්ම කාලයෙහි හුදෙකලා ව කවර සම්පතක් පතා තපස් රක්නේ දැ යි ඇසී ය.
1865. ශක්‍රය, පුනර්‍භවය දුකෙකි, ශරීර භේදනය (මරණය) දුකෙකි, සම්මෝහ මරණය දුකෙකි, එහෙයින් තපස් රකිමි යි කීය.
1866. කාශ්‍යපය, තොප කී මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (ඔබ) යම් වරයක් කැමැත්තෝ ද (එය ගන්නේ මැනැවි).
1867. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම්, ‘පුතුන්, බිරියන්, ධන ධාන්‍ය හා අනෙක් ප්‍රිය වස්තූන් ලැබැ ද සෑහීමකට පත් නො වන ලෝභය මට නූපදීවා’ යන මේ වරය කැමැත්තෙමි (යි කීය.)
1868. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. තෙපි යම් වරයක් කැමැත්තහු ද (එය ගන්නේ මැනැවි.)
1869. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම්, ‘කෙත්, වතු, රන්, ගවයන්, දාසයන්, කම්කරු පුරුෂයන් යන මොවුන් නිසා හටගත් කෝපයෙන් සිය පිරිහීම වේ ද ඒ ක්‍රෝධය මට නූපදීවා’ යන මේ වරය කැමැත්තෙමි (යි කීය.)
1870. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (ඔබ) යම් වරයක් කැමැත්තවු ද (එය ගන්නේ මැනැවි.)
1871. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවූ නම්, ‘බාලයකු නො දකීවා, ඔහු ගැන අසන්නට නො ලැබේවා, බාලයකු සමග එක් ව වාසයක් නො ලැබේවා, බාලයන් හා ප්‍රිය බස් (හෝ) බණන්නට නො ලැබේවා, එය රිසි නො වේවා, (යි කීය.)
1872. කාශ්‍යපය බාලයා තොපට කුමක් කළේ ද කාශ්‍යපය, බාලයා දැකීම නො රුස්නේ කවර කරුණක් නිසා ද? ඒ හේතුව මට කියව.
1873. බාලයා (ආශ්‍රිතයන්) අනභිවෘද්ධියට පමුණුවයි. අකට යුතු දෙයෙහි යොදයි. උපිළිවෙළ උසස් සේ ගනී. ළෙන්ගතුව කී දෙයිනු දු තදින් කිපෙයි. ආචාර විනය නො දනි යි. එ හෙයින් ඔහුගේ දසුන නො මැනැවි.
1874. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (තෙපි) යම් වරයක් කැමැත්තවු ද (එය ගන්නේ මැනැවි.)
1875. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම් නැණවතා දකිම්වා, නැණවතා ගැන අසම්වා, නැණවතා හා එක් වැ වෙසෙම්වා, නැණවතා හා ප්‍රිය බස් බෙණෙම්වා, එය රිසි වෙම්වා. (යි කීය.)
1876. කාශ්‍යපය, නැණවතා තොපට කුමක් කළේ ද? කාශ්‍යපය, නැණවතා දැකීම රුස්නේ කවර කරුණක් නිසා ද? ඒ හේතුව මට කියව.
1877. නැණවතා (ආශ්‍රිතයන්) අභිවෘද්ධියට පමුණුවයි. කටයුතු දෙයෙහි යොදවයි. මනා පිළිවෙළ උසස් සේ ගනී. ළෙන්ගතුව කී දෙයින් නො කිපෙයි. ආචාර විනය දනි යි. එ හෙයින් ඔහුගේ එක්වීම මනා ය.
1878. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (ඔබ) යම් වරයක් කැමැත්තෝ ද (එය ගන්නේ මැනැවි.)
1879. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම්, රාත්‍රිය ගෙවී ගොස් සූර්‍ය්‍යොදය වේලෙහි දිව බොජුන් පහළ වේවා, එය පිළිගන්නට සිල්වත් පිළිගාවෝ පැමිණෙත්වා.
1880. මා දෙන්නා වූ දාන වස්තුව අඩු නො වේවා. දානය දී පසුව නො තැවෙම්වා. දෙමිනු දු සිත පහදම්වා. සක් දෙවිඳුනි මේ වරය ඉල්ලමි.
1881. කාශ්‍යපය, තොප කී මේ මනා සුභාෂිතය නිසා තොපට වරයක් දෙමි. (ඔබ) යම් වරයක් කැමැත්තෝ ද (එය ගන්නේ මැනැවි.)
1882. භූතාධිපති ශක්‍රය, ඉදින් මට වරයක් දෙවු නම්, තෙපි යළිත් මා වෙතැ නො පැමිණෙවු. ශක්‍රය මේ වරය ඉල්ලමි.