1710. ප්‍රාඥය, ඉතා කළු පැහැති බියකරු වූ සුදුදත් ඇති ප්‍රතාපවත් වූ පස් රැහැනකින් බඳනා ලද තොපගේ බල්ලා කුමක් කෙරේ ද?
1711. උසීනර රජතුමනි, මේ බල්ලා මෘගමාංස බුදින්නට ආවේ නො වේ. මනුෂ්‍යමාංස බුදින්නට ආවෙකි. මනුෂ්‍යයන්ගේ විනාශය කරන්නෙක් ව මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1712. පාත්‍රය ගෙන හිස මුඩු කොට සඟළ සිවුර පොරොවා ගත් ශ්‍රමණ ප්‍රතිරූපකයෝ නගුලින් සී සාති. (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එ කලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය,
1713. පැවිදි වූ භික්‍ෂුණීහු හිස මුඩු කොට සඟළ සිවුර පොරොවා ගෙන පස්කම් සුව විඳිමින් හැසිරෙත්. (යම් කලෙකැ මොවුන් මරා මස් කන ලද්දේ ද) එකල මෙතෙම මගේ අතින් මිදෙන්නේ ය.
1714. උඩුරැවුල වැඩුනා වූ ජටා සහිත වූ මල සහිත දත් ඇති ධූලි සහිත හිස් ඇති තවුසෝ මුදල් පොලී කොට ජීවත් වෙති. (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ, මෙ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1715. බමුණෝ වේදය ද සාවිත්‍රිය ද යාග විධි ද හදාරා කුලිය සඳහා යාග කරති. (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1716. ජරාවටපත් වූ මහලු වූ මව්පියන් වත්කම තිබිය දී (යම් කෙනෙක්) පෝෂණය නො කෙරෙත් ද, (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මෙතෙම මගේ අතින් මිදෙන්නේ ය.
1717. ජරාවට පත් මහලු වූ මව්පියන්ට තෙපි බාලයෝ යැ යි කියත් ද (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1718. ඇදුරු බිරිඳ, මිතුරු බිරිඳ, මයිලණුවන්ගේ බිරිඳ, සහ පියාගේ සොහොවුරිය යන මොවුන් සමග ලෝකයෙහි ආචාරධර්‍ම විරෝධී ව යම් කෙනෙක් හැසිරෙත් ද (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1719. බමුණෝ කඩුව හා පළිහ ගෙන කඩු ඔසොවාගෙන මං පැහැරීම කෙරෙත් ද, (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1720. ආලේපයන්ගෙන් ඡවිවර්‍ණය සකස් කර ගත් ධනවත් වැන්දඹුවන් හා හැසිරෙන ස්ථුල හස්තයන් ඇති ස්ත්‍රී ධූර්‍තයෝ (ඒ වැන්දඹුවන් හා) මිත්‍ර භේදයට පැමිණෙත් ද (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
1721. ලෝකයා රවටන වංචාකාරී දුර්‍ජනයෝ යම් කලෙක ලොවෙහි ඇති වන්නාහු ද, (යම් කලෙක මොවුන් මරා මස් කන ලද්දේ ද) එකලැ මේ කණ්හ තෙම මගේ අතින් මිදෙන්නේ ය.
6. මහාකණ්හ ජාතක යි.
1722. මම නො මැ මිලයට ගනිමි. නො ද විකුණමි. මා විසින් රැස් කළ ධනයෙක් ද නො ද ඇත. මේ අල්ප ආහාරය ද දුකසේ ලබන ලද මැ යැ. මේ පතක් පමණ වූ බත දෙදෙනකුන්ට පමණ නො වෙයි.
1723. අල්පමාත්‍ර දැයින් අල්පමාත්‍රයක් දෙන්නේ යැ. අණුමාත්‍ර අර්‍ධයෙන් අඩක් දෙන්නේ යැ. බොහෝ දැයින් බොහෝ දැයක් දෙන්නේ යැ. නො දෙනු නො වටනේ යි.
1724. කෝසිය සිටාණෙනි, එකරුණෙන් තොපට කියමි; දන් දෙව, වළඳ ද කරව, ආර්‍ය්‍යමාර්‍ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.