1662. පවිත්ර වස්ත්රවලින් සැරසී අහසේ සිටින තෙපි කවරහු ද? කුමක් හෙයින් කඳුළු වගුරුවහු ද? කුමක් හෙයින් බියපත් වූවහු ද?
1663. දේවයන් වහන්ස, ඔබතුමාගේ රාජ්යයේ වාසය කරන, පිදුම් ලද මට අවුරුදු හැටදහසක් ගෙවී ගියේ ය. මා භද්දසාලය යි දත්හ.
1664. මහරජ, පැරැණි රජවරු නගර ද නිවාස ද පහයන් ද කරවන්නෝ මා නො වෙහෙසූහ. යම්සේ ඔහු මා පිදු ද එසේ තෙපි ද මා පුදව.
1665. පහයට ගැළැපෙන කඳ මහත් වූ අන් රුකක් මම නො දකිමි. වැඩුණු තැන් සිට මනා පෙනුමැති රුක ආරෝහ පරිණාහ සම්පන්න වෙයි.
1666. සිත් ගන්නා පෙනුමැති එකස්තම්භ මාළිගාවක් කරවන්නෙමි. තොප එහි පමුණුවන්නෙමි, තෙපි (එහි) බොහෝ කල් ජීවත් වන්නහු ය.
1667. (මාගේ) ශරීරය වෙන් කරන්නා වූ මෙබඳු සිතක් (තොපට) පහළ විය. (මේ නිසා) මා කඩ කඩ කොට කපන්නාහු ය.
1668. (රුකෙහි) අග ද මැද ද සිඳ පසුව මුල සිඳිවු, මෙලෙස සිඳිනු ලබන (කල) මට මරණය දුක් නො වේ.
1669. පණ ඇත්තහුගේ අත්පා කන්නාසා යම්සේ සිඳින්නේ ද ඉනික්බිතී හිස සිඳින්නේ ද (එයින්) මරණය දුක් වන්නේ ය.
1670. වනස්පති වූ භද්රසාල රුක කඩ කඩ වසයෙන් කැපීම සැපයෙක් ද? කඩ කඩ වශයෙන් කැපීම කැමැති වන්නේ කවර කරුණක් නිසා ද?
1671. මහරජ හේතුව කරුණු සහිත වේ. කඩ කඩ වශයෙන් කැපීම රිසි වෙමි. මා කියන හේතුව අසනු මැනැවි.
1672. මාගේ රැක වරණය ලැබැ ගස ඇසුරේ සුවසේ වැඩුණු මගේ ඥාතීහු වෙත්. මම අන්ය වූ ඒ ඥාතීන්ගේ කඳුළු වගුරුවන ලද්දෙම් වෙමි.
1673. වනස්පතියකු වූ භද්රසාලය, සිතුවමනා දෙයක් සිතුවෙහි ය. නෑයන්ට යහපත කැමැත්තෙහි ය. මිතුර තොපට අභය දෙමි.
2. භද්දසාල ජාතක යි.
1674. දඹදිවැ වෙසෙන ඒ ජනයා සී සාති, වපුරති. කර්මානුරූප ව ජීවත් වන මනුෂ්යයෝ මේ දූපතේ සැපතට කොටස්කරුවෝ නො වෙති. දඹදිවට වඩා අපට මේ දූපත උතුම් වන්නේ ය.
1675. (අද සිට) හඳ පසළොස් රැයක් ඉක්මැ ගිය කලැ සයුරේ (රළ) වේගය වැඩි වෙයි. මේ මහ දූපත යට කරමින් තොප නො නසාවා! රැකවරණැති අන් තැනකට යවු.
1676. මේ සයුරේ ජල වේගය, මේ මහ දූපත යට නො කරයි. බොහෝ නිමිතිවලින් මා එය දැක තිබේ. බය නො වවු. දුක් වනුයේ කුමට ද? සතුටු වවු.