1674. දඹදිවැ වෙසෙන ඒ ජනයා සී සාති, වපුරති. කර්‍මානුරූප ව ජීවත් වන මනුෂ්‍යයෝ මේ දූපතේ සැපතට කොටස්කරුවෝ නො වෙති. දඹදිවට වඩා අපට මේ දූපත උතුම් වන්නේ ය.
1675. (අද සිට) හඳ පසළොස් රැයක් ඉක්මැ ගිය කලැ සයුරේ (රළ) වේගය වැඩි වෙයි. මේ මහ දූපත යට කරමින් තොප නො නසාවා! රැකවරණැති අන් තැනකට යවු.
1676. මේ සයුරේ ජල වේගය, මේ මහ දූපත යට නො කරයි. බොහෝ නිමිතිවලින් මා එය දැක තිබේ. බය නො වවු. දුක් වනුයේ කුමට ද? සතුටු වවු.
1677. කෑ යුතු බොහෝ දේ තිබෙන ආහාරපාන බහුල මේ මහනිවෙසැ සම්පත් ඇත. ඔබට සිදු වන කිසිදු බියෙක් නො පෙනේ. පුතුන්ගේ පුතුන් දක්වා ප්‍රමුදිත වවු.
1678. දකුණු දෙසැ සිට යම් දෙවියෙක් ආරක්‍ෂා සහිතය යි කියා ද ඔහුගේ කීම සත්‍ය වේ. උතුරු දෙසෙහි සිටැ බිය උපදී යයි කී බස සත්‍ය නො වේ. බිය නො වවු, දුක් වනුයේ කුමට ද? ප්‍රමුදිත වවු.
1679. මේ යක්‍ෂයෝ ඔවුනොවුනට විරුද්ධ ව බෙණෙති. එකෙක් බිය සහිත යයි කියයි. එකෙක් බිය රහිත යයි කියයි. එ හෙයින් මගේ කීම අසවු. හැමදෙන වහා නො නැසෙම්හ.
1680. හැම දෙන එකතු වැ යන්ත්‍රොපකරණ සියල්ල සම්පූර්‍ණ ශක්ති සම්පන්න නැවක් සාදමු. ඉදින් දකුණු දිග දේව පුත්‍රයා සත්‍යයක් කීයේ නම් මේ උතුරු දිග දේව පුත්‍රයා කීයේ හිස් බසෙකි.
1681. අපට ඒ ප්‍රකාශය අවැඩ පිණිස වන්නී ය. මේ දූපත ද අත් නො හරිමු. ඉදින් උතුරුදිග් දෙවියා සත්‍යයක් කීයේ නම්, දකුණුදිග් දෙවියා කීයේ හිස් බසෙකි. හැම දෙන ඒ නැවට නැඟ අපි සුවසේ එතෙරට තරණය කරමු. (එතෙරට යමු.)
1682. ප්‍රථමයා කී දේ ශ්‍රේෂ්ඨ යයි දැඩි ලෙස ගැනීමත්, පශ්චිමයා කී දේ ශ්‍රේෂ්ඨ යයි දැඩි ලෙස ගැනීමත් මනා නො වේ. යමෙක් විමසා සත්‍ය වූවක් නුවණින් ගනී ද, ඒ මනුෂ්‍යයා ඒකාන්තයෙන් උසස් තැනට පැමිණෙයි.
1683. මුහුද මැද ඒ වෙළෙන්දෝ තම කර්‍මාන්තය නිසා අභයස්ථානයට සුවසේ පැමිණියෝ ද, එසේ නුවණැත්තේ අනාගත අභිවෘද්ධිය වටහා ගෙන එය ඉක්මවා නො යයි. (ඒ අනුව ක්‍රියා කරයි.)