1532. මාගේ පුත්රයා වන ඇතා වෙන් ව ගිය නිසා ඉඳුසල් ගස් කෙළිඳ ගස් හා කුරුඳු ගස් ද ඉළුක් ආදි තෘණ වර්ග ද බොඩහමු ගස් ද වැඩුණාහ. කඳු පමුලැ කිණිහිරි ගස්හි මල් පිපී ගියහ.
1533. යම් කිසි තැනෙකැ රන් අබරණ සහිත රාජ රාජමහාමාත්යයෝ ඇතා ආහාරයෙන් පෝෂණය කරත් ද. යම් ඇතකු පිට රජෙක් හෝ රාජ කුමාරයෙක් හෝ හිඳ ගෙන බිය රහිත ව සතුරන්ගේ යුද ඇඳුම් විනාශ කෙරේ ද,
1534. නාගය, (හස්තිය) ආහාර අනුභව කරව. නාගය, කෘශ නො වව, රාජ කටයුතු බොහෝ ඇත. ඒ කටයුතු කරන්නෙහි ය.
1535. දුකට පත් වූ අන්ධ වූ අසරණ වූ ඒ මාගේ මව් ඇතිනි (හඬමින්) චණ්ඩොරණ පව්වෙහි කිලිඟුරන් (දැවකඳන්) පයින් පොළතී සිතමි.
1536. මහානාගය, අන්ධ වූ මඟ පෙන්වන්නකු නැති ද චණ්ඩොරණ පව්වෙහි කිළිඟුරන් පයින් පොළන ඕ තොපට කවරක් වේ ද?
1537. මහරජ, අන්ධ වූ මඟ පෙන්වන්නකු නැති චණ්ඩොරණ පව්වෙහි කිළිඟුරන් පයින් පොළන මාගේ මෑණියෝ ය.
1538. යම් ඇතෙක් මව පෝෂණය කෙරේ ද ඒ ඇතා මුදවු. සියලු නෑයන් සමග (ගොස්) ඇතා මව හා එක් වේවා!
1539. කසී රජු විසින් බැම්මෙන් මුදවා යැවූ ඇතා මොහොතක් විඩා හැර, පව්ව යම් තැනක ද (එතැනට) ගියේ ය.
1540. ඉක්බිති ඒ ඈතා සිහිල් දිය ඇති ඇතුන් ගැවසුන විලට ගොස් සොඬින් දිය ගෙන මවට ඉස්සේ ය.
1541. නො කල්හි වස්නා මේ නොහොබනා වැස්ස කුමක් ද? යමෙක් මට උපස්ථායක ව සිටියේ ද ඒ මාගේ පුත්රයා ගියේ ය.
1542. අම්මෙ, නැගිටින්න. වැතිර සිටින්නේ කිම? ඔබේ පුතා වන මම ආවෙමි. නුවණැති පිරිවර ඇති කසී රජ විසින් මම මුදනු ලදිමි.
1543. හැම දා වැඩිහිටියන් සලකන යමෙක් මාගේ පුතා නිදහස් කෙළේ ද කසී රැටියන්ගේ රට දියුණු කරන ඒ රජ සැරදේවා.
1. මාතුපෝසක ජාතක යි.
1544. රජතුමනි, මාගේ කීම ඇසුවමනා ය. ප්රයෝජනයක් සලකා ගෙන ජුණ්හ (නම්) ඔබ වෙත පැමිණියෙමි. දෙපා ඇත්තන් අතර උතුම් වූ රජතුමනි, බමුණන් ද මගියන් ද පැමිණ සිටිය දී (ඔවුන්) නො බලා යායුතු යයි (පඬිවරු) නො කියති.
1545. බමුණ, (ඔබ කීම) අසමි. (මෙහි) සිටිමි, කියව. යම් ප්රයෝජනයක් සලකා මෙහි ආයෙහි ද ? මා කෙරෙහි වූ කුමක් පතමින් මෙහි ආයෙහි ද ? බමුණ, එය වහා කියව.
1546. ගම්වර පහක් ද දැස්සන් සියයක් ද ගවයන් සත් සියක් ද දහසකට වැඩි ස්වර්ණ නිෂ්ක ද (ජාතිකුලාදීන්) මා හා සමාන බිරියන් දෙදෙනකු ද මට දුන මැනැවි.
1547. බමුණ, ඔබට උසස් වූ තාපස ගුණධර්මයෙක් ඇත් ද නැතහොත් විසිතුරු වූ මන්ත්ර තිබේ ද, නැතහොත් සුවච වූ කිසි යක්ෂ කෙනෙක් හෝ සිටිත් ද, නැතහොත් ඔබ විසින් මට කළ කිසියම් හිතකර කිසිවක් දන්නෙහි ද?
1548. මට තපසෙක් නැත, මන්ත්ර ද නැත, සුවච යක්ෂයෝ ද නැත. ඔබට කළ යහපතකු දු නො දනිමි. පෙරැ ඔබ හා සමාගමය පමණෙක් විය.
1549. දන්නා වූ මට මේ පළමු වර දැක්මයි. මීට පෙරැ ඔබ නො හඳුනමි. කවදා කො තැනෙකැ අප හමුවීම සිදුවී ද? පුළුවුස්නා ලද මට මෙය කියව.
1550. දේවයන් වහන්ස, ගන්ධාර රජතුමාගේ රම්ය තක්සලා නගරයෙහි විසූම්හ. එහි ගනඳුරු (පැවැති) රැයෙකැ අංසයෙන් අංසය ගැටූමු.
1551. මහරජ, අපි එහි දී සිහි කළ මනා කතා කෙළෙමු. අප හමුවීම එ පමණෙකි. ඉන්පසු හමුවීමෙක් නො වීය. ඉන් පෙරැ ද නො වීය.